Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ආනන්ද වෙඩිසිංහ දැඩි සත්කාර ඒකකයට

ආනන්ද වෙඩිසිංහ දැඩි සත්කාර ඒකකයට

ශනුක අරවින්ද - 2017 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණදුන් ප්‍රවීන යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මේ වන වනවිට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුරෙන් වෙඩිසිංහගේ කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී ඇති බවත්, ඊයේ (25 වැනිදා) දිනයේදී ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදියේ හැඬල එකිනෙක ගැටීම නිසා ආනන්ද වෙඩිසිංහ මෙම අනතුරට ලක්විය. එම තරගයේදී පළමු ස්ථානය වෙනුවෙන් වෙඩිසිංහ සහ සුරාජ් අතර ඉතා තියුණු තරගයක් පැවැති අතර පෙරමුණේ ගමන් කළ වෙඩිසිංහ පසුකරයෑම සඳහා සුරාජ් ගත් උත්සාහයක් වැරදීයාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව වාර්තා වේ.

දෙදෙනාගේ යතුරුපැදිවල හැඬල එකිනෙක වැදීම නිසා දෙදෙනාටම සිය යතුරුපැදි නිසි ආකාරයෙන් පාලනය කරගැනීමට නොහැකි විය. පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට වීසිවී තිබේ. යතුරුපැදියෙන් ඉවතට විසිවූ වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති බවත්, පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව ඇති බවත් දැනගන්නට ලැබේ. එසේ වුවත් සුරාජ් පෙරේරා දරුණු ආබාධයකට ලක් නොවී ඇති අතර සුළු තුවාල ලැබූ ඔහු මඳ වේලාවකට පසුව සිය යතුරුපැදියත් රැගෙන එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

දරුණු අනතුරක් සිදුවීමෙන් පසු රතු කොඩි දමා තරගය නතර කර අනතුරට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ස්ථානයට ගිලන් රථ යැවීම සාමාන්‍ය සිරිත වුවත්, අනතුරට ලක්වූවන් එම ස්ථාන වල සිටියදීම තරගය නතර නොකර දිගින් දිගටම පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. තරගය අවසන් වීමෙන් අනතුරව වෙඩිසිංහ රෝහල්ගත කිරීම සඳහා අනතුර සිදුවූ ස්ථානයට ගිලන් රථයක් යැවීමට විනාඩි 20 ක පමණ කාලයක් සංවිධායකයන්ට ගතවී ඇති බවද වාර්තා වේ.

නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහු මහනුවර මහ රෝහලට මාරුකර යැවිය යුතු බවට නුවරඑළිය රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කළහ. එසේ වුවත් ඒ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔහුව පස්වරු 1.00 සිට පස්වරු 6.00 පමණ වන තෙක් නුවරඑළිය රෝහලේම රඳවා ගැනීමට සිදුවී තිබේ.

හිටපු ප්‍රවීන යතුරුපැදි ක්‍රීඩකයකු වන ෂේන් ගුණවර්ධන මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීම මත වෙඩිසිංහ මහනුවර මහ රෝහල කරා මාරුකර යවා ඇති අතර ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීම සඳහා ඉඩක් වෙන්කර ගැනීමටද හැකි වී තිබේ.

 


අදහස් (0)

ආනන්ද වෙඩිසිංහ දැඩි සත්කාර ඒකකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.