Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ඉෂාන් දසනායක කිරුළ රැකගනී

ඉෂාන් දසනායක කිරුළ රැකගනී

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ දිනාගත් දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ තවත් වසරක් සඳහා තමන් සතුකර ගැනීමට සෙනසුරාදා (22 වැනිදා) නිමාවට පත් වූ ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේදී ඉෂාන් දසනායක සමත් විය. දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී 25 වැනි වරටත් පැවැති මෙම තරගාවලියේ යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට සමත් වුයේ ළහිරු ජීවන්ත සහ ඉවෝන් බී. ගුරුසිංහ නියෝජනය කළ සියැට් කණ්ඩායමයි.

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකේම ජය තමන් සතුකරගත් ඉෂාන් දසනායක පිට පිටම දෙවැනි වරටත් නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

එම අදියර දෙක තුළදී කිහිප වරක්ම ධාවන පථය මත ඇද වැටුණද තරගයෙන් ඉවත් නොවී දිගින් දිගටම තරග වැදුණ ඉෂාන්, වැටුණු අවස්ථාවන් වලදී තමා පසුකරගිය සෙසු තරගකරුවන් නැවත නැවතත් පසුකර ඉදිරියට ඇදුණේ නරඹන්නන්ගේ ප්‍රීතී ඝෝෂා මැදිනි.

ඉකුත් මාර්තු මාසයේ කුරුණෑගලදී පැවැති විජයබා සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්වීම නිසා හටගත් පාදයේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරීමටත් පෙර සිටම පුහුණුවීම් ආරම්භ කරමින් නරියාකන්ද තරගාවලිය සඳහා සූදානම් වූ බව ඉෂාන් ජයග්‍රහණයෙන් අනතුරුව ‘ලංකාදීප’ යට පැවසීය. එහෙත් එම ආබාධ තත්ත්වය නිසා ඔහු වෙනදා නිරත වන සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයෙන් මඳක් ඈත්වී තරමක ආරක්ෂාකාරී තරග රටාවක නිරත වූ අයුරු දැකගත හැකිවිය.

ඉෂාන්ට පමණක් දෙවැනි වෙමින් පළමු අදියර අවසන් කළ යුද හමුදාවේ බුද්ධික කසුන් සිල්වා, ඉතා ආක්‍රමණශීලී ක්‍රීිඩා විලාශයක නිරත වෙමින් දෙවැනි අදියරේ වට 7 ක් නිමා වන තෙක්ම පෙරමුණ ගෙන ගමන් කළේය. එහෙත් අවසන් වටය තුළදී ඉතා අවාසනාවන්ත ලෙස ධාවන පථය මතත ඇද වැටීමට ලක්වීම නිසා ඔහුට එම අදියරේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එපමණක් නොව එම අවාසනාවන්ත සිදුවීම නිසා ඔහු පළමු වරට නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අනගි අවස්ථාවද මගහැරී ගියේය. ජපන් ජාතික කෙන්ජි ඔසාවා පළමු අදියරේ තෙවැනි ස්ථානය හිමිකරගත් අතර සමීර ප්‍රේමරත්න දෙවැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.

ඉකුත් වසරේ පැවැති නරියාකන්ද තරගාවලියේදී ඉෂාන් සමග කරට කර තරගයක නිරත වෙමින් සම ලකුණු ලබාගත් ෂෙහාන් සී. අධිකාරිට සහ ජාක් ග-ුණවර්ධනට මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූහ. අදියර දෙකේදීම පළමු ස්ථාන තුනෙන් එකක් හෝ දිනාගැනීමට ඔවුන් දෙදෙනා අපොහොසත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට ඉමාල් මංචනාක සමත් විය. ආනන්ද වෙඩිසිංහ, උදික ශ්‍රීමාල් මලවිගේ, ආනන්ද සම්පත් වීරසිංහ, සචිර රාජකරුණා සහ දේෂාන් සොලංකි වැනි එම ඉසව්වේ ප්‍රභල ක්‍රීඩකයන්ට එහිදී ඉමාල් හමුවේ පසුබැසීමට සිදුවිය.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ට්‍රීට් ට්‍රේල්) යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගැනීමට සමත් වූ ඉවෝන් බී. ගුරුසිංහ, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර අතරතුරදී අනතුරකට ලක්වීම නිසා රෝහල් ගතකිරීමට සිදුවිය.

අනතුරට ලක්වීම නිසා ඉවොන්ට ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි ඉසව්වේ දෙවැනි අදියරට සහභාගි වීමට නොහැකි වූ අතර පළමු අදියරේ දෙවැනියා බවට පත්වූ ළහිරු ජීවන්ත, ඉවොන් නොමැති වීම නිසා දෙවැනි අදියරේ ජය පහසුවෙන්ම තමන් සතු කරගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස ප්‍රීමා, ඩිමාර්ක්, රේන්කෝ, එක්සයිඞ්, එඩින්බරෝ, කොකා කෝලා, සියැට්, නෝර්ත් පෝල්, වර්ත් ලංකා, හොණ්ඩා සහ එලිෆන්ට් හවුස් යන ආයතන කටයුතු කළේය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි විය.


තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 65 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 13 න් පහළ)
1 තාරුක රුමීෂ (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
2 එම්. අයි. අමේන්ද්‍ර (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 ස්ටීවන් ප්‍රනාන්දු (කේ. ටී. එම්. 85)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 එම්. එන්. පෙරේරා (කවසාකි කේ. ඩී. එක්ස්. 125)
2 අෂේන් ශෙහාර (කේ. ටී. එම්. 125)
3 ජී. ඩී. කේ. සංදීප (කේ. ටී. එම්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 ඊ. එම්. සුමණසේකර (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ඉමාෂ උදාතර (යමහා පී. ඩබ්ලිව්. 50)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් පළමු යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 සචිර ගිම්හාන රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 ආනන්ද සම්පත් වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 16 න් පහළ)
1 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)
2 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
3 ස්ටෙෆාන් ප්‍රනාන්දු (කේ. ටී. එම්. 85)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 කෙන්ජි ඔසාවා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 සඳරු ශනිල්ක (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් දෙවැනි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 සචිර ගිම්හාන රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

 

බුද්ධික කසුන් සිල්වා

සමීර ප්‍රේමරත්න 

 

ඉමාල් මංචනායක

ළහිරු ජීවන්ත

 

නරියාකන්ද යතුරුපැදි තරගාවලියේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

ඉෂාන් දසනායක කිරුළ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.