Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේගයෙන් පැමිණ වංගුවක් ගැනීමට යෑමේදී යතුරුපැදි දෙක එකිනෙක පැටලීමෙන් පාළනය ගිළිහී යාම නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී ආනන්ද වෙඩිසිංහ සහ තමා මුහුණදුන් අනතුරට ප්‍රධාන හේතුව වූ බව සුරාජ් පෙරේරා පවසයි. තරගයේ වේගය අඩාල කිරීම සඳහා ධාවන පථය තුළ ඉදිකරනු ලබන වේග සීමා බාධකය (චිගේන්) මෙවර තරගාවලියේදී ඉවත් කර තිබීම තරගයේ එහි වේගය වැඩි වීමට ප්‍රධානම හේතුවක් වූ බවද සුරාජ් කියා සිටියේය.
මින් පෙර වසර වලදීද තමා සහ වෙඩිසිංහ අතර සුපර් මෝටාඞ් යතුරුපැදි තරගයේ ජයග්‍රහණය සඳහා ඉතා තියුණු තරග පැවැත්වී ඇති බවත්, එහෙත් ඒ කිසිදු අවස්ථාවක තමා මෙවැනි සිදුවීමකට මුහුණදී නැති බවත් සුරාජ් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.
සුපර් මෝටාඞ් යතුරුපැදි අංශයෙන් 8 වරක් ජාතික ශූරතාව දිනා සිටින සුරාජ් පෙරේරා, ‘ලංකාදීප’ කළ විමසුමකදී තමා මුහුණු දුන් අනතුර සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“ඒ වංගුව ගන්නකොට මම හිටියේ වංගුවේ ඇතුල් පැත්තේ, ආනන්ද අයියා හිටියේ පිට පැත්තේ. අනතුර වෙනකොට අපි දෙන්නා වංගුවේ අමාරුම හරිය පහුකරලා ඉවරයි. වංගුව ඉවරවෙන හරියෙදි අපි දෙන්නගේ යතුරුපැදි දෙක එකට පැටලුණා කියලා මට තේරුණා. ඒත් ඒ වෙලාවේ ආපු වේගෙ හැටියට අපි දෙන්නටම අපේ යතුරුපැදි පාලනය කරගන්න බැරි වුණා.”
“මම හුගක් උත්සාහ කළා මගේ යතුරුපැදිය පාරේ ඇතුළු පැත්තට ගන්න. ඒත් යතුරුපැදි දෙක එකට පැටලිලා තිබුණ නිසා ඒ වැඬේ හරි ගියේ නෑ. අපි දෙන්නම පාර අයිනේ තිබුණ යකඩ වැටේ වැදිලා උඩින් විසිවුණා. නැගිටලා බලනකොට මම දැක්කා ආනන්ද අයියා ටිකක් පිටි පස්සට වෙන්න වැටිලා ඉන්නවා.”
වෙඩිසිංහ තවමත් දැඩි සත්කාර ඒකකයේ |
නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී දරුණු අනතුරකට මුහුණදුන් ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහගේ තත්ත්වය එන්න එන්නම බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. අනතුර නිසා වෙඩිසිංහගේ හිසට සහ සුසුම්නාවට සිදුවී ඇති හානිය ඉතා බරපතල වන බැවින් ඔහුගේ ජීවිතය පවා අවදානම් තත්ත්වයක තිබෙන බවද වාර්තා වේ. අනතුරට ලක්වූ දින (23 වැනිදා) සිට මේ දක්වා දින 8 ක් පුරා ඔහු කෘතිම ස්වසන උපකරණය (ලයිෆ් මැෂින්) ආධාරයෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
|
“ඒ වෙලාවේ මට අනතුරේ බරපතල කම ගැන ලොකු වැටහීමක් තිබුණේ නැති නිසා මම හැදුවේ අයෙමත් තරගයට එකතු වෙන්න. ඒත් යතුරුපැදියට නැග්ගාම තමා මට තේරුණේ මගේ අතක් බිඳිලා කියලා. ඉතින් මම තරගයෙන් ඉවත්වෙලා හෙfමිහිට පැඩොක් එකට (තරග රථ ගාලට) ආවා. පස්සේ තමා මට දැනගන්න ලැබුණේ ආනන්ද අයියට අමාරුයි කියලා.” යයි සුරාජ් පෙරේරා පැවසූයේ බිඳුණු හඬිනි.
මෙවර තරගාවලියේදී තරගකරුවන්ට පුහුණුවීම් සඳහා කාලයක් නොදුන් බවත්, කාල ගණනය කිරීමක් නොකොට කුසපත් ඇදීමක් මගින් සුපර් මෝටාඞ් තරගයේ ආරම්භක ස්ථාන ලබාදීමට සංවිධායකයන් පියවර ගෙන තිබූ බවත් සුරාජ් පැවසීය. ඒ හේතුවෙන් කුසපත් ඇදීමේදී පසුපස ස්ථාන හිමිවූ ප්‍රබල තරගකරුවන්ට ඉදිරියෙන් සිටි තරගකරුවන් පසුකර යෑමට වඩාත් වේගයෙන් තරග වැදීමට සිදුවූ බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ මෙවන් අදහසකි.
“කලින් අවුරුදුවලදී නම් තරගයට කලින් දවසේ පුහුණුවීම් වලට කාලයක් අපට දෙනවා. එදා දවසේදී කාල ගණනයක් කරලා තමා අපිට තරගයේ ආරම්භක ස්ථාන ලබා දෙන්නේ. ඒත් මේ පාර අපිට පුහුණුවීම් කරන්න කාලයක් දුන්නේත් නෑ, කාල ගණනයක් කරලා තිබුණෙත් නෑ. කුසපත් ඇදලා තමා අපිට තරගයේ ආරම්භක ස්ථාන ලබා දුන්නේ.”
“කුසපත් ඇදීමේදී මට ලැබුණේ 7 වැනි තැන. ආනන්ද අයියා හිටියේ දෙවැනි තැන. ඉතින් එයාට කරට කර තරගයක් දෙන්න මට තරගකරුවන් 5 දෙනෙක් පසුකරමින් ඉදිරියට එන්න සිදුවුණා. එත් කාල ගණනයක් තිබුණා නම් මට ඊට වඩා ඉදිරිපෙළ ස්ථානයක ඉදලා තරගය ආරම්භ කරන්න අවස්ථාව තිබුණා කියලා මම හිතනවා. එහෙම වුණා නම් මේ වගේ අනතුරක් නොවෙන්න ඉඩ තිබුණා.”
“තරගය ආරම්භ කිරීමට කලින් අපිට ඇඟ උණුස්ම් කරගැනීම සඳහා වට 2 ක් ලබාදුන්නා. ඒත් ධාවන පථය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඒ වට දෙක හොඳටම ප්‍රමාණවත් මදි. ඒකයි පුහුණුවීම් සඳහා කාලයක් ලබා දුන්නා නම් සිදුවුණ අනතුර වලක්වාගන්න හරි එකේ බරපතලකම අඩුකරගන්න හරි අවස්ථාවක් තිබුණා කියලා මම කියන්නේ.” යයිද සුරාජ් පෙරේරා පැවසීය.
මෙම අනතුරෙන් සුරාජ් පෙරේරාගේ දකුණු අත බිඳීගොස් ඇති අතර මේ වන විට ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.