Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ශානුක සඳරුවන්ට ත්‍රිත්ව ජයග්‍රහණ

ශානුක සඳරුවන්ට ත්‍රිත්ව ජයග්‍රහණ

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ත්‍රිත්ව ජයග්‍රහණයකට හිමිකම් කියමින් පළමු වරට පැවැති ‘කොළඹ සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනීමට ශානුක සඳරුවන් සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (7 වැනිදා) වැලිසර, නාවික හමුදා ධාවන පථයේදී පැවැත්විණ.

ජින් ලියනගේ සමග කරට කර තරගයක නිරත වීමෙන් පසුව එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියරේ දෙවැනි ස්ථානයට පත්වූ ශානුක සඳරුවන්, එම ඉසව්වේ දෙවැනි අදියර ඉතා විශිෂ්ට ලෙස ජයගනිමින් දක්ෂතම යතුරුපැදිකරුවා සම්මානයට හිමිකම් කීවේය.

පළමු අදියරේදී වරින් වර එකිනෙකා පරයා ඉදිරියට ඇදෙමින් නරඹන්නන් කුල්මත් කිරීමට ශානුක සඳරුවන් සහ ජින් ලියනගේ සමත් වූ අතර අවසානයේ එම අදියර ජය ගැනීමට ශානුකට වඩා තත්ත්පර කිහිපයකයට පෙර තරගය නිමා කළ ජින් සමත් විය. කෙසේ වුවත් පළමු අදියරේදී තමා අතින් සිදුවූ වැරදි අවම කරගනිමින් දෙවැනි අදියරට සහභාගි වූ ශානුක, ඉන් ජය ලැබූවේ ජින්ට වඩා මීටර් 100 ක් පමණ ඉදිරියෙන් සිටිමිනි. මිතුන් ජයසංක සිගේරා පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත්වූ අතර මධුර පීරිස් දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත්විය.

ශානුක සඳරුවන්

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකේ ජයද තමන් සතුකරගනිමින් මෙම තරගාවලියේදී ත්‍රිත්ව ජයග්‍රහණයක් ලැබූ එකම ක්‍රීඩකයා බවට පත්වීමටද ශානුක සමත් විය. එහිදී ශානුකට හොඳ තරගයක් දුන් ළහිරු ජීවන්ත එම අදියර දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.  

ප්‍රවීණ මොටෝක්‍රෝස් ශූර ගයාන් සඳරුවන්ගේ සොහොයුරා වන ශානුක සඳරුවන්, ප්‍රධාන පෙළේ යතුරුපැදි තරගාවලියකදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් පළමු අවස්ථාව මෙයයි. ඉෂාන් දසනායක, ෂෙහාන් සී. අධිකාරි, ජාක් ගුණවර්ධන, ඉවෝන් බී. ගුරුසිංහ මෙන්ම සිය සොහොයුරු ගයාන්ද විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි නොවීම ශානුකගේ ජයග්‍රහණය වඩාත් පහසු වීමට හේතු විය.

එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ අදියර දෙකම ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූයේ දේෂාන් සොලංකි එම අදියර දෙකේම දෙවැනි ස්ථානයට ඇද දමමිනි. නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්වීම නිසා ප්‍රබල සුපර් මෝටාඞ් ක්‍රීඩකයන් දෙපළක් වන සුරාජ් පෙරේරා සහ ආනන්ද වෙඩිසිංහ මෙම තරගාවලියට සහභාගි නොවූහ.

වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගැනීමට මිනුක රත්නායක සහ රිවිනු රත්නායක නිවුන් සොහොයුරන් සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස ෂෙල් ලිහිසිතෙල්, සියැට්, ස්ට්‍රැෆඞ් මෝටර්ස්, එලිෆන්ට් හවුස්, ප්‍රීමා, මහින්ද්‍රා මෝටර්ස් සහ මැක්ලරන්ස් ලිහිසිතෙල් යන සමාගම් සහ ආයතන කටයුතු කළේය.


යතුරුපැදි තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස 13 න් පහළ)
ප්‍රතිඵල අත්හිටුවන ලදි.

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්)
1 එම්. එන්. පෙරේරා (කේ. ටී. එම්. 125)
2 අෂේන් ෂෙහාර (කේ. ටී. එම්. 125)
3 ජයම්පති දිසානායක (කේ. ටී. එම්. 125)

ජින් ලියනගේ

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 රිවිනු රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ඉරෝෂ් සුමනසේකර (යමහා පී. ඩබ්ලිව්. 50)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. එස්. 250)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස 16 න් පහළ)
ප්‍රතිඵල අත්හිටුවන ලදි.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ආර්. එම්. සෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි
1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ජින් ලියනගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 සඳරු ශනිල්ක (යමහා ඩබ්ලිව්. ආර්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. එස්. 250)
3 ආනන්ද සම්පත් වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)  
2 ජින් ලියනගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 මඳුර පීරිස් (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

 

ඉමාල් මංචනායක

ලහිරු ජීවන්ත

මිනුක රත්නායක

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

ශානුක සඳරුවන්ට ත්‍රිත්ව ජයග්‍රහණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.