Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සාලියපුරදී තීර්ණාත්මක තුන් කොන් සටනක්

සාලියපුරදී තීර්ණාත්මක තුන් කොන් සටනක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී (2018) පැවැත්වෙන සියැට්-ස්ලඩා මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීම සඳහා ඉවෝන් බී. ගුරුසිංහ, ඉෂාන් දසනායක සහ සමීර ප්‍රේමරත්න අතර හෙට (19 වැනිදා) ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේදී ඉතා තියුණු සටනක් ඇතිවී තිබේ.

ඒ අනුව එම ශූරතාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීම සඳහා ලකුණු ලබාගත හැකි අවසන් තරගාවලිය ලෙස හෙට පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වෙන ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී නරඹන්නන්ට ඔවුන් තිදෙනා අතර කරට කර තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය.

සියැට්-ස්ලඩා ශූරතාවලියේ පළමු අදියර වූ නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ සහ දෙවැනි අදියර වූ සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ඉෂාන් දසනායක සමත් විය. එහි තෙවැනි අදියර වූ ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූයේ ඉවෝන් බී. ගුරුසිංහයි. සමීර ප්‍රේමරත්නද එම තරගාවලි තුනේදීම ඉෂාන්ට සහ ඉවෝන්ට නොදෙවෙනි දස්කම් දැක්වීය.

මේ වන විට ඉවෝන් ලකුණු 31 ක්ද, ඉෂාන් ලකුණු 28 ක්ද, සමීර ලකුණු 25 ක්ද බැගින් ලබා ශූරතාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා වන ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. ශූරතාවලියේ සිවුවැනි අදියර වන ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී අත්කරගන්නා ජයග්‍රහණ අනුව ඔවුන් තිදෙනා අතරින් වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයා කවුරුන්දැයි තීරණය වනු ඇත.

ඉකුත් වසරේදී (2017) පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන ලැබූ ජාක් ගුණවර්ධන ආබාධ තත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවේ.  ප්‍රවීන යතුරුපැදි ශූර ගයාන් සඳරුවන් මෙම තරගාවලියෙන් අනතුරුව යතුරුපැදි ක්‍රීඩාවෙන් සිය සමුගැනීම ප්‍රකාශ කිරීමට සූදානමින් සිටියි.

සියැට්-ස්ලඩා ශූරතාවලියේ දක්ෂතම මෝටර් රථ ශූරයා බවට පත්වීමේ ලකුණු ලබාගැනීම සඳහා ක්‍රීඩකයන්ට මෙම තරගවලින් අනතුරුව කටුකුරුන්ද රොදර්හැම් තරගාවලියද ඉතිරිව තිබේ. එසේ වුවත් කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙතෙක් පැවැති අදියර තුනේදීම දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්ව සිටින අශාන් සිල්වා, ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී මෙන්ම කටුකුරුන්ද රොදර්හැම් තරගාවලියේදීද සිය ස්ථානය රැකගැනීම සඳහා දැඩි සටනක් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.  මේ වන විට අශාන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 60 කි.

ඊට හේතු වී ඇත්තේ සියැට්-ස්ලඩා ශූරතාවලියේ අදිරය 3 හැරුණු කොට මේ වසර තුළදී මෙතෙක් පැවැති සෑම මෝටර් රථ තරගාවලියකදීම ධාවන පථය පූරා සිය අණසක පතුරවමින් මෝටර් රථ රියැදුරා කිරුළ දිනාගැනීමට අශාන් සමත්ව සිටීමයි. කැවල්රි සුපර් ක්‍රොස්, වලව සුපර් ක්‍රොස්, කොළඹ සුපර් ක්‍රොස්, කමාන්ඩෝ සුපර් ක්‍රොස් සහ මහගස්තොට කඳු තරණය මේ වසර තුළදී ඔහු ජයගත් සෙසු තරගාවලි වේ. ඒ අනුව මේ වසර තුළදී මේ දක්වා ඔහු ජයගෙන ඇති තරගාවලි සංඛ්‍යාව 8 කි.

කූෂාන් පීරිස් (ලකුණු 44) සහ උෂාන් පෙරේරා (ලකුණු 30) පිළිවෙලින් වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරා ගැනීම සඳහා වන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල තවදුරටත් රැදී සිටිති. එසේ වුවත් මේ වසර තුළදී පැවැති කිසිදු මෝටර් රථ තරගාවලියක දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට ඔවුන්ට ඉඩක් නොලැබිණ.

මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් 75 ක් සහ යතුරුපැදිකරුවන් 145 ක් ලියාපදිංචි වී සිටින අතර ඊට ජපන් ජාතික යතුරුපැදිකරුවන් තිදෙනෙක්ද ඇතුළත්ව සිටින බව තරග සංවිධාකයෝ පවසති. දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි ඉසව් 13 කින් මෙවර තරගාවලිය සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලඩා) සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සොෆ්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම කටයුතු කරයි. සියැට්, සිංගර්, මැලිබන්, ටී.වී.එස්. යන සමාගම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරන අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

අශාන් සිල්වා

කුෂාන් පීරිස්

උෂාන් පෙරේරා

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

සාලියපුරදී තීර්ණාත්මක තුන් කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.