Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ආනන්ද වෙනුවෙන් පොඩි වෙඩිසිංහ තරග බිමේ

ආනන්ද වෙනුවෙන් පොඩි වෙඩිසිංහ තරග බිමේ

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී අනතුරකට ලක්ව දිවියෙන් සමුගත්, ශ්‍රී ලංකාවේ මෝටර් ක්‍රොස් ධාවන පථයේ අද්වීතීය නාමයක් හිමිකරගෙන සිටි යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ පුත් කේන් වෙඩිසිංහ, මෙවර ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේදී නැවතත් දේශීය තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් සිටී. 

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව 26 වැනි වරටත් සංවිධානය කරන ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලිය හෙට (21 වැනිදා) පෙරවරු 9.00 සිට දියතලාව නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ. 

ජපානයේ වාසය කරන කේන් වෙඩිසිංහ, නරියාකන්ද තරගාවලියට සහභාගි වීම සඳහා ඉකුත් 18 වැනිදා දිවයිනට පැමිණි අතර ඊයේ (20 වැනිදා) දිනයේදී ඔහු එම තරගාවලියේ කාල ගණනය කිරීම්වලට සහභාගි විය.  

‘ලංකාදීප’ කළ විමසුමකදී කේන් වෙඩිසිංහ පවසා සිටියේ සිය පියාගේ බලාපොරොත්තු සඵල කිරීම සඳහා තමා නැවතත් දේශීය තරග බිමට පිවිසීමට තීරණය කළ බවයි.

“මගේ තාත්තාගේ ලොකුම ආසාව වුණේ රේස් පදින එක. පොඩි කාලෙදිම මටත් එයා රේස් පදින්න පුරුදු කළා. මම රේස් පදිනකොට එයා හුගක් ආසාවෙන් බලන් හිටියේ. එයා තමා මගේ මුල්ම ගුරුවරයා.” 

“මතක හැටියට මම ලංකාවේදි අන්තිමට රේස් එකක් පැද්දෙ 2011 වසරේ බෝයගනේදි. ඒ දවස්වල මමයි තාත්තයි එකට රේස් පැද්දා. ඊට පස්සේ මම ලංකාවේ රේස් පැද්දෙ නෑ. අපි ජපානේ පදිංචියට ගියා. එත් තාත්තා නම් දිගටම ලංකාවේ රේස් පැද්දා. තාත්තා මට කිව්වා ජපානේදි හොඳට පුරුදුවෙලා අයෙමත් ලංකාවේ රේස් පදින්න එන්න කියලා.” 

“අවාසනාවකට අද තාත්තා අපි අතර නෑ. එත් එයාගේ බලාපොරොත්තුව ඉටු කරන්න මම ආයෙමත් ලංකාවට ආවා. හෙට තරගයේදී මම තාත්තාගේ අංකය (15) යටතේ තරග වදිනවා. දිනන එකටත් වඩා මම බලාපොරොත්තු වෙන්නේ තාත්තගේ ප්‍රේක්ෂකයන් සතුටු කරන එක.” 

ඉකුත් ඉරිදා ජපානයේදී අවසන් වරට පුහුණුවීම්වල නිරත වී ඇති කේන්, හොණ්ඩා සී.ආර.එෆ්. 250 මාදිලියේ යතුරුපැදියක් භාවිතා කරමින් මෙවර නරියාකන්ද තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියි. 

මේ දක්වා 7 වරක් බැගින් නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනිමින් වැඩිම වාර ගණනක් එම සම්මානයට හිමිකම් කීමේ සම වාර්තාවට හිමිකම් කීමට ආනන්ද වෙඩිසිංහ සහ ගයාන් සඳරුවන් සමත්ව සිටිති. 

තමන් සහභාගිවන අවසන් නරියාකන්ද තරගාවලිය මෙය බවත්, මේ වසරේ තරගවාරයෙන් අනතුරුව තමා යතුරුපැදි ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටින බව ගයාන් ඉකුත්දා ‘ලංකාදිප’යට පැවසීය. 

ඒ අනුව ගයාන්ට මේ වසරේ නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වෙමින් ආනන්ද පසුකර යෑමට හැකි වේවිදැයි යන්න සහ එහිදී ඔහුට ආනන්දගේ පුත් කේන්ගෙන් එල්ලවන අභියෝගය කෙසේ වේවිදැයි යන්න ප්‍රේක්ෂකයන්ට හෙට දිනයේදී දැකබලා ගැනීමට හැකිවනු ඇත. 

පිට පිටම දෙවරක් (2016 සහ 2017) නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ඉෂාන් දසනායකට, මේ වසරේදී සිය ශූරතාව රැක ගැනීම සඳහා ගයාන් සඳරුවන්, බුද්ධික කසුන් සිල්වා, ෂෙහාන් සී. අධිකාරි, ජාක් ගුණවර්ධන සහ ඉවෝන් බී. ගුරුසිංහ වැනි ප්‍රබල ප්‍රතිවාදීන් සමග කරට කර තරගයක නිරත වීමට සිදුවනු ඇත. කේන් වෙඩිසිංහගේ සහභාගීත්වය මෙන්ම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවකු වන සමීර ප්‍රේමරත්නගේ ආගමනයද එහිදී ඉෂාන්ගේ පීඩනය තවත් වැඩි කිරීමට හේතුවනු ඇත. 

ඉකුත් වසරේ (2017) පැවැති නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ අශාන් සිල්වාට මේ වසරේදී සිය ශූරතාව රැකගැනීම සඳහා අභියෝග කරන ක්‍රීඩකයන් අතර උෂාන් පෙරේරා සහ කුෂාන් පීරිස් පෙරමුණේ පසුවෙති. කෙසේ වුවත් 2016 වසරේ පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ පසිඳු පීරිස් මෙවර තරගාවලියට සහභාගි නොවීම අශාන්ට යම් තරමක හෝ අස්වැසිල්ලක් වනු ඇත. 

අශාන් සිල්වා (2013, 2015 සහ 2017) සහ පසිඳු පීරිස් (2011, 2012 සහ 2016) මේ දක්වා තෙවරක් බැගින් නරියාකන්ද තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා සම්මානය දිනා සිටින අතර උෂාන් පෙරේරා හෝ කුෂාන් පීරිස් තවමත් එක් වරක් හෝ එම සම්මානයට හිමිකම් කීමට සමත්ව නැත. 

දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමග මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඒ සඳහා සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 250 කට ආසන්නය.  

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමාගම කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.  

 

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ආනන්ද වෙනුවෙන් පොඩි වෙඩිසිංහ තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.