Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ආරක්ෂාව 1/5 ට බහී

ආරක්ෂාව 1/5 ට බහී

ශනුක අරවින්ද - 2017 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 23 වැනිදා පැවැති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ ආරක්ෂාව සඳහා ධාවන පථය වටා යොදා තිබූ වැලි පිරවූ ගෝනි සහ ටයර ප්‍රමාණය මින් පෙර වසර වලදී යොදා තිබූ ප්‍රමාණයට සාපේක්ෂව 80% කින් පමණ අඩුවී තිබූ බව ‘ලංකාදීප’ යට වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලූ විට දැනගත හැකිවූයේ මින් පෙර වසර වලදී තරගකරුවන්ගේ සහ තරග නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධාවන පථය වටා වැලි පිරවූ ගෝනි  3000 කට වැඩි ප්‍රමාණයක් සහ ටයර 150 කට වැඩි ප්‍රමාණයක් අසුරා ඇති නමුත් මේ වසරේදී අසුරා ඇති වැලි පිරවූ ගෝනි ප්‍රමාණය 600 ක් සහ ටයර ප්‍රමාණය ඉන් 30 පමණ වන බවයි. එය මින් පෙර වසරවලට සාපේක්ෂව පහෙන් එකකි.

මෙම තත්ත්වය නිසා අනුව ඇතැම් වංගුවල මෙන්ම ඉතාමත් අනතුරුදායක ස්ථාන කිහිපයකම වැලි ගෝනි හෝ ටයර යොදා නොතිබූ බවද වාර්තා වේ.

තරගාවලිය සංවිධානය කළ ආකාරය සම්බන්ධයෙන් යම් කිසි පරීක්ෂණයක් පවත්වා හෝ විනය ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ දැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වූ බවත්, සංවිධායකයන් ගෙන්වා සිදුවූ අනතුර සම්බන්ධයෙන් කරුණු විමසීමක් පමණක් සිදුකළ බවත්ය.

ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා අනතුරට ලක්වූ ස්ථානය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයකදීද පෙනී ගිය කරුණක් වූයේ එම ස්ථානයේ යොදා තිබූ ආරක්ෂක උපාංග අඩු වීම නිසා අනතුරේ බරපතලකම තවත් වැඩි වී ඇති බවයි. අනතුර සිදුවූ වංගුවේ පිටත පැත්තෙන් ඇති යකඩ වැට ආවරණය වන පරිදි ටයර කිහිපයක් පමණක් හේත්තුකර තිබූ අතර එම වැටට ඉදිරිපසින් වැලි පිරවූ ගෝනි තබා තිබුණේ නිවසක් ඉදිරිපස අලංකාරයට මල් පෝච්චි තබා තිබෙන ආකාරයටය.

තවද මෝටර් රථ තරග සඳහා තරග වදින යුද හමුදාවේ ඉහළ නිලධාරියකුගේ ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයක් පිරිසක් මෙවර තරගාවලියේ පැති විනිසුරුවන් (කෝනර් මාර්ෂල්වරුන්) ලෙස යොදවා ඇති බවද දැනගන්නට ලැබිණ. ඔවුන්ට මෝටර් රථ තරග සම්බන්ධයෙන් දැනුමක් නොමැති වීම නිසා ඇතැම් අවස්ථා වලදී තරගකරුවන් මහත් අපහසුතාවන්ට ලක්වූ බවද වාර්තා වේ.

මෝටර් රථ තරගවල ආරම්භක ස්ථාන ලබාදීම සඳහා තරග පැවැත්වීමට පෙර කාල ගණනයක් පැවැති නමුත් තරග ආරම්භය සඳහා මෝටර් රථ පෙළ ගැස්වීමේදීද තරගකරුවන් මහත් අපහසුතාවට පත්වන අයුරින් සංවිධායකයන් කටයුතු කළ බව දක්නට ලැබිණ. ඊට හේතු වී තිබුණේ කාල ගණනයට අනුව නියමිත ස්ථානවල මෝටර් රථ පෙළ ගැස්වීම සඳහා සංවිධායක මණ්ඩලයේ නිලධාරීන්ගේ දූ දරුවන් යොදවා තිබීමයි. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති වීම නිසා නියමිත තරග ආරම්භක ස්ථානය කරා යෑමේදී තමන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද ඇතැම් තරගකරුවෝ පවසති.

මෙම තරගාවලිය පැවැත්වීම සඳහා මාර්ගය වසා තැබීමට නුවරඑළිය පෙලිසිය ඉඩ ලබාදී තිබුණේ පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා වන නමුත් එම අවසරය නොසලකා හැර විවිධ හේතු සාධක දක්වමින් පස්වරු 6.00 පමණ වන තෙක් තරගාවලිය පැවැත්වීමටද සංවිධායකයන් පියවර ගත් බව දැකගත හැකිවිය. එසේ පැය 3 ක පමණ වැඩිපුර කාලයක් ලබාගත්තද, කාල නොමැති බව පවසමින් මෝටර් රථ තරගවල වට සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද තරගකරුවෝ  සංවිධායකයන්ට දොස් පැවරූහ.

මේ වන විට මෝටර් රථ ක්‍රීඩාව සඳහා පාළනාධිකාරියක් නොමැති වුවත් මින් පෙර බලයේ පැවැති මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය මෙම තරගාවලිය පැවැත්වීමේදී ගතයුතු ක්‍රියාමාර්ග සහ ආරක්ෂක විදි විධාන යොදන ආකාරය සම්බන්ධයෙන් සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබිණ. එසේ වුවත් එම උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය නොකරමින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් පියවර ගැනීම සිදු වූ අනතරු වලට මෙන්ම තරගකරුවන් සහ නරඹන්නන් අපහසුතාවට පත්වීමටද බොහෝ සෙයින් හේතුවූ බව මෝටර් රථ ප්‍රවීණයෝ පවසති.

ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය, නුවරඑළිය මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කළේය.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ආරක්ෂාව 1/5 ට බහී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.