Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍යංශයේ පසුගිය රජය සමයේ සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් පත්කරන ලද ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් ක‍්‍රීඩා අංශයේ සිදුවූයේ යැයි කියන රුපියල් මිලියන ගණනක මහා පරිමාණ දුෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ධර්මසේන දිසානායක මහතාගේ සහභාපතිත්වයෙන් යුත් එම කමිටු වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ නිල වශයෙන් බාර දෙන ලදි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ දින 100 ක් ඇතුළත මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවත් වාර්තාවෙන් එල්ල වන චෝදනා පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන බවත්ය.
”මේ වාර්තාවට අවශ්‍ය කරුණු සොයන විට අපිට විවිධ බලපෑම් ආවා. සමහර නිලධාරීන් අපිට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ නෑ” යැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
එම කමිටු වාර්තාව උප ශීර්ෂ 18 ක් යටතේ සම්පාදනය කර ඇති අතර එහි 1, 2, 9, 10, 12, 17 සහ 18 යන උප ශිර්ෂ හතෙන් ක‍්‍රීඩාවේ සිදුවූයේ යැයි කියන දුෂණ පිළිබඳව හෙළිකර තිබේ. මෙම කමිටු වාර්තාවේ තවත් උප ශීර්ෂ 11 ක් යටතේ සංචාරක අමාත්‍යංශයට සම්බන්ධව සිදුවූයේ යැයි කියන අක‍්‍රමිකතා පිළිබඳවද තොරතුරු හෙළිදරව් කර තිබිණ.
ධර්මසේන දිසානායක මහතාගේ සහභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු නිලධාරීන් ලෙස එන්. පද්මනාදන් සහ රුස්ලි හුසේන් යන මහත්වරු කටයුතු කළහ. පද්මනාදන් මහතා විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන අතර රුස්ලි හුසේන් මහතා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වේ.
වාර්තාවට ඇතුළත් වූ කරුණු අතර කී‍්‍රඩාව සම්බන්ධ වූ කරුණු 7 ක සාරංශය පහත දැක්වේ
01 : සුගතදාස ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේ මීටර 400 කෘත‍්‍රිම ධාවන පථයේ ඉදිකිරීම
I. රජයේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් දුර්වලවුත්, දෝෂ සහිත වූත් ටෙන්ඩර් ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම හේතුවෙන් වඩාත් සුදුසු හා පළපුරුදු ටෙන්ඩර්කරුවකු තෝරා ගැනීමට අසමත් වීමෙන් සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ මීටර් 400 සින්තටික් ධාවන පථය නැවත සකස් කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වී ඇත. දැනට ගෙවා ඇති මුදල රු. මිලියන 108 ක් පමණ වේ. ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැළකිය යුතු පියවරක් මෙතෙක් ගෙන නොමැත.
II. සුගතදාස ක‍්‍රීඩාංගණයේ වෙනත් වැඩි දියුණු කිරීම් සඳහා රු. 5,270,288 ක් සඳහා ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර මෙහි සඳහන් කාර්යයන් මෙම ව්‍යාපෘතිය සමඟ කිසිම සම්බන්ධයක් නොතිබූ ඒවාය. එහෙත් ව්‍යාපෘතියේ අමතර වැඩ ලෙස සලකමින් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එම කොන්ත‍්‍රාත්තුව ද ‘ගහකොළ ලෑන්ඞ්ස්කේපින්’ ආයතනයට පැවරීමෙන් විෂමාචාරයක් සිදු කළෙහිය.
02 : ජාත්‍යන්තර ක‍්‍රිකට් විකාශන අයිතිය සී.එස්.එන්. නාලිකාවට පැවරීම
අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අනුකූල නොවන පරිදි ටෙන්ඩර් කි‍්‍රයා පටිපාටිය අනුගමනය කිරීම හා සාධාරණ යැයි සැලකිය හැකි සවභාවයෙන් ටෙන්ඩර් කැඳවීමේ නිවේදනය ප‍්‍රසිද්ධ නොකිරීම නිසා මිල ගණන් කැඳවීමේ ප‍්‍රධාන මූල ධර්මය වූ තරගකාරිත්වය ප‍්‍රදර්ශනය නොවීය. එහෙයින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සී. එස්. එන්. නාලිකාවට වසර 03 ක් සඳහා විකාශන අයිතිය පැවරීම සාධාරණ ක‍්‍රියාපටිපාටියක් සේ සැලකිය නොහැකිය. මෙය ක‍්‍රම විරෝධි සහ සදාචාර විරෝධි ක‍්‍රියාවලියක් බව ද නිරීක්‍ෂණය කිරීමට කැමැත්තෙමු.
09 : පාපන්දු සම්මේලනයේ දුෂණ සහ අක්‍රමිකතා
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා ඉතාලියෙන් ලද පරිත්‍යාග වූ යූරෝ 40,000 ක් ද, ආසියානු පාපන්දු සම්මේලන තරගාවලිය සඳහා ලැබුණු ඇ.ඩො. 60,000 ක් ද, සුනාමි ව්‍යාසනයෙන් (පුනරුත්ථාපන ආධාර වශයෙන්) පසුව හොල්සිම් සමාගමෙන් ලද රු. මිලියන 10 න් කොටසක් ද, ආසියානු පාපන්දු තරගාවලිය සඳහා ඇ.ඩො. 200,000 ක් හෝ ඉන් කොටසක් ද අවභාවිතය කිරීම හෝ වංචා කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමු.
10 : ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ දුෂණ සහ අක‍්‍රමිකතා
උත්ත කරුණු සම්බන්ධයෙන් සළකා බැලීමේදී පැහැදිලි වන්නේ ඉදිරිපත් වූ කරුණු සියල්ල සංගමයේ පරිපාලනය, කළමණාකරණය සහ ගිණුම්කරණය පිළිබඳව ගැටළු බවයි. එහෙයින් මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යටතේ පරිපාලන, කළමණාකරණය හා ගිණුම්කටයුතු යාවත්කාලීන කිරීම සහ ක‍්‍රමවත් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම මැනැවයි නිරීක්‍ෂණය කරමු.
12 : ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාග්ධන වියදම් රෙඩිකෝ ආයතනය සඳහා කොන්ත‍්‍රාත් ලබාදීම
රෙඩිකෝ ආයතනය පෙරසවි කොන්ක‍්‍රිට් භාණ්ඩ නිපදවන ආයතනයක් වන අතර ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කොන්ත‍්‍රාත් ඔවුන් වෙත පැවරීමට කටයුතු කර ඇත්තේ ලාභ සහිතව එම ආයතනය පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාව මතය. ඔවුන් විසින් කරනු ලබන්නේ තමන් වෙත ලබා ගන්නා ඉදිකිරීමේ කෙන්ත‍්‍රාත්තු වෙනත් ආයතන වෙත ලබාදී එයින් කොමිස් මුදලක් ලබා ගැනීමය. මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන ලද බවට ප‍්‍රකාශ වුවත් බොහෝ අවස්ථාවලදී ටෙන්ඩර් කැඳවූ බවට අවශ්‍ය ලිපි ලේඛණ සකස් කිරීම පමණක් කරන බවත් සත්‍ය වශයෙන්ම කොන්ත‍්‍රාත් දෙපාර්තමේන්තු විසින් නම් කරන කොන්ත‍්‍රාත්කරුවන් වෙත ලබාදී ඇති බවටත් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් ලිපිගොණු කිහිපයෙන් තොරතුරු අනාවරණය වී ඇත. එසේ හෙයින් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති රෙඩිකෝ ආයතනය මගින් උප කොන්ත‍්‍රාත්තු දීමේදී යම්යම් අක‍්‍රමිකතා සිදුවී ඇති බව නිගමනය කරමු.
17 : ජාතික ක‍්‍රීඩා සංගම් සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම
ඉහත කරුණු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව කමිටුව අධ්‍යයන කිරීම ආරම්භ කළද මේ වන විටත් මෙම විෂය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයන් පවත්වා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරුද්ධව චෝදනා පත‍්‍ර ද කෙටුම්පත් කොට ඇති බව එම ගොණුව අධ්‍යයනය කිරීමෙන් අනාවරණය විය. එහෙයින් මේ පිළිබඳව තව දුරටත් කාලය මිඩංගු කිරීමේ අවශ්‍යතාවයක් නොවන බව කමිටුව තීරණය කරයි.
18 : පීරිස් මහතාගේ පැමිණිල්ල (විශ‍්‍රාමික ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ)
තමන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ද විවිධ තරාතිරම්වල දීර්ඝ කාලයක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බව ද කිසිදු විශේෂ හේතුවක් නොදන්වා තමන් අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ වයසට පෙර බලහත්කාරයෙන් විශ‍්‍රාම යැවූ බව කමිටුව ඉදිරියේ ප‍්‍රකාශ කෙරිණි.
සුවිශේෂි හේතු නොමැතිව නියමිත දිනට පෙර විශ‍්‍රාම යැවීම අසාධාරණ හෙයින් ඔහු ඉල්ලා ඇති පරිදි වසර 60 දක්වා සේවයේ සිටියා සේ සළකා හිඟ වැටුප් ගෙවීමටත් විශ‍්‍රාම වැටුප සංශෝධනය කර දීමත් සාධාරණ බව නිරීක්‍ෂණය කරමු.
ඡායාරූපය - ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.