Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මව් සංගමය තරගාවලි 3 ක අයිතිය ගනී

මව් සංගමය තරගාවලි 3 ක අයිතිය ගනී

Nisanka Sandeepani - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මෝටර් රථ ක්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) මේ වසරේදී (2019) සංවිධානය කිරීමට කටයුතු යොදා තිබූ තරගාවලි 5 න් 3 ක අයිතිය පවරා ගැනීමටත්, තරග දෙකක් අවලංගු කිරීමටත් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය (ස්ලාස්) සූදානමින් සිටින බව ‘ලංකාදීප’යට වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය විසින් තාවකාලිකව තහනම් කර තිබීමයි. 
 
පසුගිය වසරේදී (2018) ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) විසින් සංවිධානය කරන ලද කොළඹ සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස් සහ කමාන්ඩෝ සුපර්ක්‍රොස් යන තරග සංවිධාන කිරීමේ අයිතිය මේ වසරේදී තමන් වෙත පවරා ගැනීමට මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. 
 
ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරියේ ලේකම් රිස්වි ෆාරුක් මහතා පවසා සිටියේ මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය යටතේ පවතින අනු සංගමයක් වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), සිය මව් සංගමයේ අණ නොසලකා හැරීම නිසා ඔවුන්ට එරෙහිව තහනමක් පැනවීමට පාලනාධිකාරියට සිදුවූ බවයි. එසේ වුවත් ඔවුන් සංවිධානය කළ තරගාවලි සියල්ල අවලංගු නොකිරීමටත්, පාලනාධිකාරිය යටතේ පවතින සෙසු ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සමාජවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර එම තරගාවලි පැවැත්වීමට කටයුතු යොදන බවත් ෆාරුක් මහතා එහිදී පැවසීය. 
 
“අපි (මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය) එපා කියද්දිත් එයාලා (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය) ගිය අවුරුද්දේ සම්මාන උළෙලක් පැවැත්වූවා. ඒකෙදි සම්මාන ගත්තු අයට එරෙහිව විරෝධතා කිහිපයක් එල්ල වෙලා තිබුණා. ඒ නිසා අපි එයාලට කිවුවා අදාල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන තුරු සම්මාන උළෙල තියන්න එපා කියලා. ඒත් එයාලා අපේ කීම ඇහුවේ නැහැ.” 
 
“මෝටර් රථ ක්‍රීඩා ව්‍යවස්ථාවේ තියෙනවා යම් අනු සංගමයක් හෝ ක්‍රීඩා සමාජයක් මව් සංගමයේ අණට අවනත වෙන්නේ නැත්නම් එයාලගේ සාමාජිකත්වය අහෝසි කරන්න මව් සංගමයට බලයක් තියෙනවා කියලා. අපි එයාලව තහනම් කළා නෙමෙයි. ඇත්තම කිවුවොත් එයාලම තමයි එයාලගේ සාමාජිකත්වය අහෝසි වෙන තැනට වැඩ කරගත්තේ.” 
 
“ක්‍රීඩා සංගමයක් තහනම් කළා කියලා එයාලා සංවිධානය කරපු තරගාවලිය අවලංගු කරන්න අපිට උවමනාවක් නෑ. එහෙම කළොත් ඒක ක්‍රීඩකයන්ට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා අපි තීරණය කළා අපි යටතේ තියෙන හැම අනු සංගමයකම නියෝජිතයන් ඇතුළත් කමිටුවක් පත් කරලා ඒ තරගාවලි වලින් කිහිපයක් හරි පවත්වන්න. ඒ සම්බන්ධයෙන් අපි මේ දවස්වල සාකච්ඡා පවත්වනවා.” යැයි ද ෆරුක් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 
 
මේ වසරේ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වෙන මාර්ග මෝටර් රථ තරගාවලි 5 ක් ඇතුළත් කර තිබුණද, ඉන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ තරගාවලි 2 ඉවත් කිරීමට ද මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය සූදානමින් සිටින බවද වාර්තා වේ. එම තරගාවලි දෙකේ සංවිධායකයන් කවුරුන්දැයි යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබීමද ඊට පූර්ව සූදානමක් බව මෝටර් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තතු දන්නෝ කියති. 
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆාරුක් මහතා පවසා සිටියේ කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වෙන තරගාවලි සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඊට අදාල පාර්ශවයන් සමග මේ දින වලදී සාකච්ඡා කරමින් සිටින බවයි. ඇතැම් විට මාර්තු මස අවසන් සතියේදී සහ නොවැම්බර් මස මුල් සතියේදී පැවැත්වීමට යොදා ඇති කටුකුරුන්ද තරගාවලි දෙක මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයෙන් ඉවත් කිරීමට සිදුවිය හැකි බවද ෆාරුක් මහතා පැවසීය. 
 
“එක අවුරුද්දකට කටුකුරුන්දේ රේස් 5 ක් දුවනවා කියන්නේ තේරුමක් නැති වැඩක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියෙදි ඒක 3 කට අඩුකරන්න. බොහෝ දුරට තවමත් සංවිධායකයෙක් නම් කරලා නැති තරගාවලි දෙක අවලංගු කරන්න අපිට සිදුවේවි. ඒ සම්බන්ධයෙන් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් සිටිනවා.” යැයිද ෆාරුක් මහතා කියා සිටියේය. 
 
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති කාමිල් හුසේන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ මෙම ක්‍රියා පිළිවෙතට එරෙහිව තම සංගමය අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවයි. සමාජිකත්වය අහෝසි කිරීමට තරම් තම ක්‍රීඩා සංගමය වරදක් කර නොමැති බවත්, යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොපවත්වාම තහනමක් පැනවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් හුසේන් මහතා වැඩිදුරටත් කීවේය. 
 
“අපේ සම්මාන උළෙල කඩා කප්පල් කරන්න හුගක් අය උත්සාහ කළා. ඒත් අපි ඉතාමත් සාර්ථකව ඒක පැවැත්තුවා. එවකට හිටපු ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහත්මයාත් ඒ සම්මාන උළෙලට සහභාගි වුණා. මව් සංගමයට ඔය විරෝධතා ඉදිරිපත් කළයි කියන අයට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වෙන්න නියමිතව තිබුණා. ඒ විනය පරීක්ෂණ වලින් ඒ අය නිර්දෝෂී කියලා ඔප්පු උනත් එයාලට සම්මාන ලබාගන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ.” 
 
“සම්මාන උළෙල පවත්වන්න කලින් කිහිපවරක්ම අපි මව් සංගමයට කිව්වා මේ අයට විරුද්ධව තියෙන විනය පරීක්ෂණ අවසන් කරලා ඒ සම්බන්ධ තීරණ අපිට ලබා දෙන්න කියලා. දැන් සම්මාන උළෙල පවත්වලා මාස 3 කටත් ලඟයි. ඒත් තවමත් ඒ පරීක්ෂණ ටික පවත්වලා අවසන් කරන්න එයාලට බැරි වෙලා තියෙනවා. එයලාගෙ වගකීම පැහැර හැරලා තමයි එයාලා අපිට චෝදනා කරන්නේ. ඒක හරිම අසාධාරණයි.” යැයිද හුසේන් මහතා වැඩි දුරටත් කියා සිටියේය. 
 
කටුකුරුන්ද මාර්ග මෝටර් රථ තරගාවලි පැවැත්වීමට නියමිත දින සහ එම තරගාවලිවල සංවිධායකයෝ 
මාර්තු 30/31 - සංවිධායකයකු නම් කරන නොමැත. 
සැප්තැම්බර් 07/08 - කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය 
ඔක්තෝම්බර් 05/06 - ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලඩා) 
ඔක්තෝම්බර් 26/27 - ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.) 
නොවැම්බර් 02/03 - සංවිධායකයකු නම් කරන නොමැත. 
1 2 3

 

ඡායාරූප - ශානුක අරවින්ද 


අදහස් (0)

මව් සංගමය තරගාවලි 3 ක අයිතිය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.