Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය 17 වැනිදා

විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය 17 වැනිදා

Nisanka Sandeepani - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලිය මේ මස 17 වැනිදා පෙරවරු 9.00 සිට කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ. 

විජයබාහු ධාවන පථය කිලෝ මීටර් 2.1 ක දුරකින් යුක්ත වන අතර එය හැරවුම් (වංගු) 13 කින් සහ පිමි 24 කින් සමන්විත වේ. 

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන තරගද සමගින් තරග ඉසව් 14 ක් මෙවර  තරගාවලියට ඇතුළත් වන අතර ඒ සඳහා දෙස් විදෙස් යතුරුපැදිකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. 

තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයාට විජයබාහු රෙජිමේන්තු අභියෝග කුසාලන පිරිනැමෙන අතර දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයාට යුද හමුදාපති අභියෝග කුසලාන පිරිනැමේ. සෙසු ජයග්‍රාහකයන් සඳහාද කුසලාන, සහතිකපත් සහ මුදල් ත්‍යාග ලබාදීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 

ඉකුත් වසරේ (2017) පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස විජයබාහු රෙජිමේන්තුවේ යතුරුපැදිකරුවකු වන සමීර ප්‍රේමරත්න සම්මාන දිනාගත් අතර එවර තරගාවලියේදී ක්‍රීඩකයක් වාර්තා කළ දිගම පිම්මටද (අඩි 120) ඔහු හිමිකම් කීවේය. 

මෙතෙක් පැවැති තරගාවලි 15 න් හතරකදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ගයාන් සඳරුවන් සමත් වී ඇති අතර නලින් පෙරේරා, ආනන්ද වෙඩිසිංහ සහ ජපන් ජාතික ටොමෝයා සුසුකි දෙවතාවක් බැගින් දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගෙන තිබේ. 

ජපන් ජාතික අසුච් තනාබේ, ඉන්දීය ජාතික සී. එස්. සන්තෝෂ්, ඉන්දීය ජාතික එච්. කේ. ප්‍රදීප්, ඉෂාන් දසනායක සහ සමීර ප්‍රේමරත්න එක්වර බැගින් විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්ව තිබේ. 

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ටී.වී.එස්. සමාගම කටයුතු කරන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ඒසර් මාකටින් සහ මාස් යන සමාගම් සම අනුග්‍රාහකයන් ලෙසද, එලිෆන්ට් හවුස්, හච්, හොණ්ඩා සහ සියැට් යන සමාගම් විශේෂ අනුග්‍රාහකයන් ලෙසද තරගාවලියට එක්ව සිටියි. 

ඡායාරූපය - 
ටී.වී.එස්. සමාගමේ නියෝජිතයන් විසින් විජයබාහු රෙජිමෙන්තු අධිපති මේජ්ර් ජනරාල් අජිත් කාරියකරවන මහතාට අනුග්‍රාහක චෙක්පත ප්‍රධානය කළ අයුරු... ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සභාපති උපාලි දසනායක මහතාද ඡායාරූපයේ සිටියි. 


අදහස් (0)

විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය 17 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.