Last Update  :  2024-11-25 20:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව NZ in SL Series 2024 අතිරේක වේග පන්දු යවන්නෙක්
විස්සයි-20 තරගාවලිය

අතිරේක වේග පන්දු යවන්නෙක්

editorial - 2024 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...)

වසර 23 ක් තරම ඈතකදී, තිලංග සුමතිපාල මහතා විසින් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ වර්ෂාව සහිත කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සඳහාමය. දශක දෙක හමාරකට  ආසන්න කාලයක් තිස්සේ එහි සාර්ථකත්වය මොනවට දිස්විය. 

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ බවත්, වසරේ වැඩි කාලසීමාවක් එහි ඇත්තේ අතිශය ශූෂ්ක මෙන්ම වියළි කාලගුණයක් බවත් ඇත්තකි. එහෙත් ඔක්තෝබර් සිට පෙබරවාරි මාසය දක්වා එම තත්ත්වයේ වෙනසක් තිබේ. මේ කාලගුණයේ හදිසි වෙනස් වීමක් නොවේ. මේ ඊසාන දිග මෝසම් වැසි සමයට (දෙසැම්බර් - පෙබරවාරි) පෙර එන අන්තර් මෝසම් වර්ෂාවයි. දඹුල්ලේ ගොවීන් මග බලාගෙන සිටින්නේද මේ වැස්ස එන තුරුය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තත්ත්වය හොඳින් අවබෝධකරගෙන සිටී. එබැවින් නවසීලන්ත පිලට එරෙහිව හෙට (9 වැනිදා) දඹුල්ලේදී ආරම්භ වන විස්සයි-20 තරගාවලිය සඳහා අතිරේක වේග පන්දු යවන්නකු කණ්ඩායමට ඇතූළත් කරන බව නායක චරිත් අසලංක කියයි. 

තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු වැනි තරගය හෙට පස්වරු 7.00 ට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම පාහේ වර්ෂාව මත රඳාපවතින තත්ත්වයකි. 

“කණ්ඩායම තෝරා ගනිද්දී කාලගුණය ගැනත් සිතන්න වේවි”

“හැමදාමත් වගේ අපේ ශක්තිය දඟ පන්දු යවන්නන් තමයි. අපේ පළමු තේරීමත් දඟ පන්දු යවන්නන්...”

“වැස්ස ගැන කියන්න නම් මා දන්නේ නෑ, ඒත් ඒක තරමක හිසරදයක් වේවි. ඒ හින්දා කණ්ඩායමට අතිරේක වේග පන්දු යවන්නෙක් එකතු කරන්නත් වේවි” යයි චරිත් අසලංක අද පස්වරුවේදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

නායකයාගේ ප්‍රකාශය වේග පන්දු යවන්නකු මෙන්ම තරමක් වැරෙන් පන්දුවට පහර දිය හැකි චමිඳු වික්‍රමසිංහට බලාපොරොත්තු ගෙන එන්නක් වනු නිසැකය. ඉන්දිය පිලට එරෙහිව පල්ලෙකැළේදී විස්සයි-20 හිස්වැස්ම දිනාගත් වික්‍රමසිංහ තවමත් සහභාගි වී ඇත්තේ තරග දෙකකට පමණි. 

මහත් බලාපොරොත්තු සහිතව පසුගිය 6 වැනිදා දඹුල්ලට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (7 වැනිදා) පුහුණුවීම් කළ නමුත් අද උදෑසන සිටම පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නවාතැන් ගෙන සිටින හෝටලට වී සිටියේය. කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගි වීමටත් කාමරයෙන් එළියට බැසීමට බැරිතරම් වර්ෂාව දැඩි විය. අද උදෑසන සිටම රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම පාහේ තණතීරු ආවරණ වලින් වසාදමා තිබිණ. 

එසේ වුවත් ශ්‍රී ලංකා නායකයාට ඇත්තේ සුබවාදී බලාපොරොත්තුවකි. 

“කොහොම වුණත් හොඳ ආරම්භයක් ලබාගැනීම වැදගත් වෙනවා”
“කලින් දිනපු තරග දැන් ඉවරයි. ඒවා දැන් අයිති වෙන්නේ අතීතයට නිසා දැන් ඒවලින් වැඩක් නෑ. ඒ නිසා මේ තරගාවලියේදී හොඳ ආරම්භයක් ලබාගැනීම හරිම වැදගත්. මොකද එතනින් තමා තරගාවලියට ප්‍රවිෂ්ඨ වෙන්නේ” 

“පසුගිය මාස කිහිපයේදීම අපි සීමිත ඕවර තරගවලදී කිසියම් දියුණුවක් පෙන්නුම් කළා. ඒ නිසා අපි හැම වෙලාවකදීම හොඳම 11 දෙනාට අවස්ථාව දීම වැදගත්... ” යයි ශ්‍රී ලංකා නායකයා පැහැදිළි කළේය. 

අන්තර්ජාතික විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ 8 වැනි ස්ථානයේය. එහෙත් හෙටින් ඇරඹෙන තරගාවලියේදී නවසීලන්තය (5 වැනි ස්ථානය) බිම දමාගත හැකිවුවහොත් ප්‍රසාද ලකුණු කිහිපයක් එක්කාසුකර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. 

“අපි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලදී ඉදිරියට යන්න බොහෝ මහන්සි වෙලා වැඩ කළා. අපේ අරමුණ වෙන්නේ (විස්සයි-20 වගේම එක්දින) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම තුන්දෙනා අතර ඉන්න. අපි එක දිගට හොඳින් සෙල්ලම් කරනවා නම්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග වලදී අපි අසරණ වෙන්නේ නෑ. ඒ වගේ තරගාවලි වලදී අපි අවසන් පූර්ව තරග වලට නැතිනම් එතනිනුත් එහාට යනවා”

“2014 දී නැත්නම් ඊට කලින් තිබුණේ ඒ වගේ තත්ත්වයක්. අපිට ඕන කරන්නේ ඒ තත්ත්වය නැවතත් ඇතිකර ගැනීමයි. ඒ නිසා සංචාරයෙන් සංචාරයට හොඳින් ක්‍රීඩා කරන එක හරිම වදගත්.” යයි ද චරිත් අසලංක කියයි. 

ඒ හින්දා තමයි මම කිව්වේ හොඳම 11 දෙනා ක්‍රීඩා කරවන්න ඕනේ කියලා. එතකොට 11 ඇතුළේ ඉන්න අය තමන්ගේ ස්ථානය රැකගන්න සටනක් දෙනවා. බංකුවේ ඉන්න අය 11 දෙනා ඇතුළට එන්න සටනක් දෙනවා. මේ තත්ත්වය නිසා කණ්ඩායමේ සමස්ත දස්කම්  ඉහළ යනවා”

අපේ මූලික අරමුණ වෙන්නේ හොඳ ක්‍රීඩකයන් 15 දෙනෙක් එක්ක ඉදිරියට යාමයි” යයි ද චරිත් අසලංක පැවසීය. 

කොදෙව් පිලේ නිමාවූ ශ්‍රී ලංකා සංචාරයේදී භානුක රාජපක්‍ෂ ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත් කළේ මාස 22  කට විරාමයකට පසුවය. එයද විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ අංක 6 සහ 7 ස්ථාන වලදී අවශ්‍යම සාධකයක් වන අතිරේක ප්‍රහාරක ශක්තිය කණ්ඩායමට එකතු කිරීම අරමුණු කරගනිමිනි. ඒ වෙනුවෙන් භානුක රාජපක්‍ෂට නිශ්චිත සැලැස්මක් දී තිබේ. 2026 ලෝක කුසලාන තරගාවලිය දක්වාම ඔහුට පැහැදිළි කර දී ඇති සුවිශේෂී වගකීමකි. 

“භානුක ඒක පිළිගත්තා. එයා කිව්වා එයාට පුළුවන් උපරිම කැපවීම කරන්නම් කියලා”
“අපිත් හොඳටම දැක්කා එයා ඒ වෙනුවෙන් කොයිතරම් දැඩි උත්සාහයක් ගන්නවාද කියලා. එයා කොහොමත් හොඳ පිතිකරුවෙක්. ඒ ගැන විවාදයක් නෑ. ඒත් දැන් එයා පන්දු රැකීමේදීත් විශාල උත්සාහයක් අරගෙන එයාගේ තරග රටාව වෙනස් කරගෙන තියෙනවා” යයි ද චරිත් අසලංක පැවසීය 

කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්වූ භානුක තරග 2 කදී පන්දු 18 කින් ලකුණු 22 ක් ලබාගත් නමුත් ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක වීම නිසා ඔහුට ඊට වැඩි දෙයක් කිරීමට අවස්ථාව නොලැබිණ. එහෙත් විස්සයි-20 අන්තර්ජාතික තරග 40 කදී ලකුණු 700 ක් හිමි, ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මේ වමත්කාරයා ගැසූ හතරේ පහර සංඛ්‍යාව 58 කි. හය් පහර සංඛ්‍යාව 31 කි. 

“භානුක මේ දවස්වල ලොකු කැපකිරීමක් කරලා අපිට අවශ්‍ය දේ කණ්ඩායමට දෙනවා. ඉදිරියේ එන අවුරුදු දෙකක විතර කාලයේදී භානුක අපේ විස්සයි-20 කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් වේවි” යයි ද චරිත් අසලංක කියයි. 

ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය වූ නමුත් නවසීලන්ත කණ්ඩායම මෙවර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීම ලබාගත් 3-0 ක ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයකින් පසුවය. එහෙත් ඉන්දියාව දණගැස්වූ වමත් දඟ පන්දු යවන්නා වන අජාස් පතෙල් (කඩුලු 15 යි) නවසීලන්ත කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවට පැමිණ නැත. 

වමතින් දඟ පන්දු යවන මිචෙල් සෑන්ට්නර් මෙහෙයවන්නේ ඉතාමත් තරුණ කණ්ඩායමකි. නවසීලන්ත කණ්ඩායමේ සිටි කෙරුම්කාරයන් වන කේන් විලියම්සන්, ටේ‍රන්ට් බෝල්ට්, ටොම් ලෙතම්, ඩෙවොන් කොන්වේ පමණක් නොව තවමත් තරුණයකු වන රචින් රවීන්ද්‍ර හෝ සංචාරක නවසීලන්ත පිලට ඇතුළත් නොවේ. කඩුලු රකින්නා වන මිචෙල් හේ ද අත්දැකීම් අඩු තරුණයෙකි. 

“මිචෙල් හේ (කඩුලු රකින්නා) කියන්නේ අනාගතය වෙනුවෙන් තෝරාගත් ක්‍රීඩකයෙක්. ටිම් රොබින්සන්නම් තරමක විනාශයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මේ වගේ අයට අවස්ථාව ලැබෙන එකත් හොඳයි” 
“විශේෂයෙන්ම අපේ සීමිත ඕවර ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම දැන් දැන් වයස්ගත වෙමින් සිටිනවා. ඒ හින්දා මේ වගේ නවකයන්ට අවස්ථාව දෙන්න ඕනේ” යයි නවසීලන්ත නායකයා කීවේය. 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු


නවසීලන්ත සංචිතය : 
මිචෙල් සෑන්ට්නර් (නායකයා), මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ජොස් ක්ලාක්සන්, ජේකබ් ඩෆී, ලොකී ෆර්ගසන්, සැක් ෆෝල්ක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මිච් හේ (කඩුලු රකින්නා), හෙන්රි නිකොල්ස්, ග්ලෙන් පිලිප්ස්, ටිම් රොබින්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝධි සහ විල් යං

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

අතිරේක වේග පන්දු යවන්නෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.