Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව NZ in SL Series 2024 දුරස්ථ එල්ලයක් කරා යන ගමනක්
එක්දින තරගාවලිය

දුරස්ථ එල්ලයක් කරා යන ගමනක්

editorial - 2024 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට....)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය මේ වන විටත් 2-0 ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවී තිබේ. තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (19 වැනිදා) පස්වරු 2.30 ට පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. 

“නවසීලන්ත කමිසයේ ගෞරවය රැකගැනීමටවත් අවසන් එක්දින තරගය දිනාගන්න ඕනා” යයි ඉරිදා රාත්‍රියේ මාක් චැප්මන් කීවේය. ඒත්, ඒ වෙනුවෙන් බුරුළක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් නැත. මක්නිසාද මේ දුරස්ථ ඉලක්කයක් කරා යන ගමනක් වන බැවිනි.
 
මාස හයකට පමණ ඉහතදී සනත් ජයසූරිය කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු වශයෙනි. ජූනි මාසයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් සිටි ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය සේවා දිගුව සම්බන්ධයෙන් උනන්දු නොවීම හේතුවෙන් පුහුණු කාර්යමණ්ඩලයේ සුක්කානම අතහැරිණ. 

ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා හරි හමන් පුහුණුකරුවකු සොයාගැනීමට තරම් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොතිබිණ. ඔවන් අත තිබූ එකම විකල්පය වූයේ තාවකාළික පුහුණුකරුවකු ලෙසින් සනත් ජයසූරිය මහතා පත්කිරීම පමණි. 

එලෙසින් තරගාවලි තුනක් ගෙවී ගියේය. නවසීලන්ත පිලට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගන්නා විට ජාතික කණ්ඩායමේ සිටි පුහුණුකරුවන්ගේ නාමාවලියේ සනත් ජයසූරිය ලාංඡනය වෙනමම තාලයේ අච්චුවක් ලෙසින් සටහන් වී තිබිණ. 

ජයසූරිය ලාංඡනය බොහෝ දුරට දුලිප් මෙන්ඩිස්ගේ ලාංඡනයට නෑකම් කීවේය. දුලිප් මෙන්ඩිස් ලාංඡනයේ පවා අබූ ෆුවාඩ්ගේ ලාංඡනයේ හැඩහුරුකම් තිබිණ. කියන්නට ඇති දෙයින් මුහුණටම දමා ගැසූවද, ක්‍රීඩකයන්ට තමන්ගේ දරුවන්ට මෙන් ආදරය කරුණාව දැක්වීමත් මේ ලාංඡන වල සුවිශේෂී ගුණාංගය. අබු ෆුවාඩ් ලාංඡනය (1980 - 1983) මෙන්ම දුලිප් මෙන්ඩිස් ලාංඡනයත් (1992 - 1997) ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයේ සංඛේත වූ බව දන්නෝ දනිති. එලෙසින්ම, සනත් ජයසූරිය ලාංඡනයත් සාර්ථකත්වයේ සංඛේතයක් වෙමින් තිබේ.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම බාරගත් දා සිට මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 5 න් 3 ක් ජයගෙන ඇත. ඒ අතරට ලන්ඩන් නුවර ඕවල් පිටියේදී ලබාගත් ජයග්‍රහණයත් ඇතුළත් වෙයි. එක්දින තරග 8 කින් 6 ක් ජයගෙන ඇත. පරාජය වී ඇත්නම් ඒ ඉන්දියානුවන්ට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය සහ එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලිය පමණි. 

ජාතික කණ්ඩායමකට පුහුණුකරුවකු පත්වීමේදී ඔහුට ඉලක්ක වර්ග දෙකක් තිබේ. එනම් ආසන්න ඉලක්ක සහ දුරස්ථ ඉලක්ක වශයෙනි. 

සනත් ජයසූරිය මේ වන විට සිය ආසන්න ඉලක්ක සියල්ලම පාහේ ජයගෙන ඇත. එනම් තමන් හමුවේ තිබූ තරගාවලි 7 කින් තරගාවලි 5 ක් ජයගැනීමෙනි. නවසීලන්තයට එරෙහිව පසුගිය ඉරිදා (17 වැනිදා) පල්ලෙකැළේදී පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනීමත් සමගින් සීමිත ඕවර තරගාවලි 5 ක ජයග්‍රහණ සම්පූර්ණ කර තිබේ. මේ අතරවාරයේදීම ශ්‍රී ලංකා පුහුණුකරුවා සිය දුරස්ථ ඉලක්කය ජයගැනීම සඳහාත් අවශ්‍ය ක්‍රමෝපාය නිර්මාණය කරගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සීමිත ඕවර තරගාවලි කිහිපයම ජයගත් නමුත් ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් ද තිබිණ. 

“ශ්‍රී ලංකාව එයාලටම හරියන දඟ කැවෙනසුළු, මන්දගාමී තණතීරු හදාගෙන (තණතීරු යයි කීවාට මේවායේ තණකොළ ගහක් වත් දක්නට නැත. ඒවා හුදු දුඹුරු පෑ යාර 22 ක් පමණි) තරග දිනනවා. ඒත් ලංකාවෙන් පිටට ගියාම ඒ ගොල්ලෝ අමාරුවේ වැටෙනවා” 
දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් ලෝලීහු ද පොදුවේ මෙම චෝදනාව එල්ල කළහ. විදේශීය ක්‍රිකට්  ලෝලීන් නම් එසේ කීවේ තමන්ගේ කණ්ඩායම් ලද පරාජයේ වේදනාව වසා ගන්නට යයි කියන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීහුද ඒ කතාවම කීවෝය.
 
මේ දෙගොල්ලන්ටම අමතක වූ කාරණාවක් තිබිණ. එනම් 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වන බවයි. 

සනත් ජයසූරියට දී ඇති කොන්ත්‍රාත්තුවේ, දැනට පෙනෙන අවසන් ඉම ඇත්තේ එතැනය. බොහෝ විට 2027 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වාත් සනත්ගේ කොන්ත්‍රාත්තුව ඇදී යාමට ඉඩ ඇතත් එය පසුව සිදුවන කාරණාවකි. 

ලෝක කුසලාන තරගාවලියක  සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ වසර 12 කට පසුවය. ශ්‍රී ලංකාවේදී පැවැති අවසන් ලෝක කුසලාන තරගාවලිය වූයේ 2012 දී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි. 

කණ්ඩායම් 20 ක් සහභාගි වන, තරග 55 කින් යුත් 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා මුම්බායි නුවරට හෝ අහමදාබාද් නුවරට යාමට සිදුවනු ඇති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අනෙකුත් තරග සියල්ලම පාහේ ශ්‍රී ලංකාවේදීම පැවැත්වෙනු ඇත. වත්මන් සූදානම ඒ වෙනුවෙනි. දුරස්ථ ඉලක්කයක් කරා යන බවක් කීවේ එබැවිනි. 

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් නොව, 2027 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහාත් ඉලක්කගත ක්‍රීඩකයෝ වත්මන් සීමිත ඕවර කණ්ඩායම් දෙකේම සිටිති. ඔවුන්ට සාධාරණ අවස්ථාවක් දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මෙන්ම කණ්ඩායම් කළමණාකාරීත්වයේත් ඒකායන අරමුණයි. 

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී තවමත් අවස්ථාවක් නොලද කුසල් ජනිත් පෙරේරා, නිශාන් මධුෂ්ක, දුෂාන් හේමන්ත, චමිඳු වික්‍රමසිංහ සහ මොහොමඩ් ෂිරාස් සංචිතයේ සිටිති. දඹුල්ලේදී ශතකයක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය සම්බන්ධයෙන් වූවද, මීට වඩා ස්ථාවර බවක් තේරීම් කමිටුව අපේක්‍ෂා කරයි.

“දෙවැනි එක්දින තරගයේදී එයා (අවිශ්ක ප්‍රනාන්දු) එක පිට එක අල්ලාගත්ත උඩපන්දු තුන වගේම පිතිහරඹයේදීත් එක පිට එක ශතක ලබාගන්න පුළුවන් කියලා එයාම පෙන්නුම් කරන්න ඕනා. මොකද එයා ආරම්භක පිතිකරුවෙක් මිසක් පන්දු රකින්නෙක් විතරක් නෙමේ....” යයි තේරීම් කමිටු නිලධාරියකු පැවසීම වර්තමාන ක්‍රිකට් කළමණාකාරීත්වයේ උසස් දස්කම් අපේක්‍ෂාව මැනවින් පෙන්නුම් කරන්නකි. 

තුන්වැනි එක්දින තරගය සඳහා කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සංචිතයෙන් නිදහස් කළද අවිශ්ක ප්‍රනාන්දු තවදුරටත් රඳවාගනු ලැබ ඇත්තේ එබැවිනි. ඔවුන් අතරට නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග ඇතුළත් කර ඇත්තේ දිගු කාලීන ඉලක්කය කරා යන ගමනේදී ඔවුන්ටත් එහි කොටස්කරුවන් විය හැකිද යන්න සලකා බැලීම පිණිසය. 


අදහස් (0)

දුරස්ථ එල්ලයක් කරා යන ගමනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.