Last Update  :  2025-03-04 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket විශිෂ්ට සටනකින් පසු ඕස්ට්‍රේලියානුවෝ දිනති
ශූරයන්ගේ කුසලාන

විශිෂ්ට සටනකින් පසු ඕස්ට්‍රේලියානුවෝ දිනති

editorial - 2025 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන්ගේ රජ දහනක් වූ ලාහෝර් පිටියේදී එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිහරඹයකින් සංග්‍රහ කළ ඕස්ට්‍රේලියානුවෝ අද (22 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කර ගත්හ. ජොෂ් ඉංග්ලිෂ් (නොදැවී 120) සහ ග්ලෙන් මැක්ස්වෙල් (නොදැවී 32) එක්ව තමන් තවමත් ලෝක ශූරයන් බව තහවුරු කළහ. 

නියමිත ඕවර 50 නිමාවේදී එංගලන්තය කඩුලු 8 ක දැවී ලකුණු 351 ක් ලබාගත්තේය. ජොෂ් ඉංග්ලිෂ්, ඇලෙක්ස් කේරි (69) සහ ග්ලෙන් මැක්ස්වෙල් කළ සටන්කාමී පිතිහරඹය නිසා ඕවර 2.3 ක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානුවෝ තරගය ජයගත්හ. 

කඩුලු දැවී ගිය නමුත් 40 වැනි ඕවරය දක්වාම එංගලන්තය හා කරට කර සිටිමින් ලකුණු ලබාගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ නිරන්තරයෙන්ම ජයග්‍රාහී මාවතේ රැඳී සිටියහ. 40 වැනි ඕවරය නිමා වන විට ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පිලට පන්දු 60 කින් ලකුණු 87 ක් අවශ්‍යව තිබුණද තම කඩුල්ල වීසිකර නොදැමූ ජොෂ් ඉංග්ලිෂ් කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

ජොෂ් ඉංග්ලිෂ් එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේදී උපත ලද්දෙකි. කුඩා කාලයේදීම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසු ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් 29 හැවිරිදි කඩුලු රකින්නා පන්දු 86 කට මුහුණ දෙමින් හතරේ පහර 8 කින් සහ හයේ පහර 6 කින් එංගලන්ත පන්දු යවන්නන්ට තැළුවේට. ඉංග්ලිෂ්ට අනගි සහයෝගයක් දුන් ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 15 කින් ලකුණු 32 ක් ලබාගත්තේ හතරේ පහර 4 කින් සහ හයේ පහර දෙකකින් පන්දු යවන්නන්ට රිදවමිනි. 

ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට ලකුණු 10 ක් මෑතින් සිටියදී ජෙෆ්රා ආචර්ගේ පන්දුවකට මැක්ස්වෙල් ගැසූ පහරකින් ඩීප් මිඩ් විකට් හි සිටි ලයාම් ලිවිංග්ස්ටන්ට උඩපන්දුවක් ලැබිණ. එහෙත් රූපවාහිනී ප්‍රතිදර්ශන විමසීමේදී එය පිතිකරුවාගේ ඉණට ඉහලින් ගිය පන්දුවක් වූයෙන් එය නිපන්දුවක් ලෙසින් නම්කරන ලදි. ඒ වෙනුවෙන් ලැබුණු අතිරේක පන්දුවටත් හයේ පහරක් ගැසූ ග්ලෙන් මැක්ස්වෙල් ඉලක්කයට ලකුණු 03 ක් දක්වා ආසන්න විය. මාක් වුඩ්ගේ පන්දුවකට ගැසූ හයේ පහරකින් තරගය අවසන් කළ ඕස්ට්‍රේලියානුවෝ එංගලන්තය පරාජය වෙත තල්ලු කර දැමූහ. 

ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ බෙන් ඩකට් (165) සහ ජෝ රූට් (68) එක්ව ඕස්ට්‍රේලියානුවන නොසිතූ ඉසව්වකට එංගලන්තය ඇදගෙන ගියහ. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බෙන් ඩකට් සහ ජෝ රූට් දෙදෙනා 30 වැනි ඕවරය නිමාවේදී 200 වැනි ලකුණත් පුවරුවට එකතු කළහ. එතැන් සිට ලකුණු වේගය වැඩිකළ එංගලන්ත පිතිකරුවෝ අවසන් ඕවර 20 දී ලකුණු 151 ක් උදුරා ගත්හ. 

කාසියේ වාසිය දිනාගත් නමුත් ඕස්ට්‍රේලියානුවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. එහි ප්‍රතිඵල ලබාගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, වමතින් වේග පන්දු යවන බෙන් ඩ්වාර්ෂියුස්ගේ සහයෙන් ලකුණු 43 ක් ඇතුළත පිලිප් සෝල්ට් සහ ජැමී ස්මිත් දෙදෙනාවම පිටියෙන් ඉවත් කර ගත් අතර ජැමී ස්මිත් දැවී ගියේ ඇලෙක්ස් කේරිගේ ඇදහිය නොහැකි උඩපන්දු රැකීමකිනි. 

ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 තරග වුවත් ඇලෙක්ස් කේරි ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු රකින්නාය. එහෙත් අද තරගයේදී ජොෂ් ඉංග්ලිෂ්ට කඩුලු රැකීමේ අත් ආවරණ බාර දුන් ඇලෙක්ස් කේරි මිඩ් විකට් කලාපයට පන්දු රැකීම සඳහා ගියේය. අතේ නොරැඳුනා නම් නිසැකවම හතරේ සීමාව කරා යන පන්දුව ගුවනට පැන ඩැහැගත් ඇලෙක්ස් කේරි එංගලන්තය මහත් බලාපොරොත්තු රඳවා සිටි ජැමී ස්මිත්ගේ ඉනිම ලකුණු 15 කට සීමා කළේය. 
එතැන් සිට එක්වූ ඩකට් සහ එංගලන්ත පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ජෝ රූට්, මුලු ලකුණු සංඛ්‍යාව 201 දක්වා ඉදිරියට ගෙන ගියහ. ඩකට් සහ රූට් දෙදෙනා පන්දුවට පහර දුන්නේ ඕස්ට්‍රේලියානුවන් තඹයකට මායිම් නොකරමිනි. සිය 175 වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ජෝ රූට් අද ලබාගත්තේ ඔහුගේ 41 වැනි එක්දින අර්ධ ශතකයයි. 

ලකුණු 18 ක් ඇතුළත ජෝ රූට් සහ හැරී බෲක් දෙදෙනාම දැවී ගියත් බෙන් ඩකට් ඇතුළු පසුපෙළ පිතිකරුවෝ එංගලන්ත ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. පන්දු 143 කට මුහුණ දුන් වමත් ආරම්භක පිතිකරුවා, ඒවායින් 20 ක් (හතරේ පහර 17 සහ හයේ පහර 3ක්) පිටියේ සීමාවෙන් එපිටට යැවීය. 

 

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 351 යි
(පිලිප් සෝල්ට් 10, බෙන් ඩකට් 165, ජැමී ස්මිත් 15, ජෝ රූට් 68, ජොස් බට්ලර් 23, ලයාම් ලිවිංග්ස්ටන් 14, ජොෆ්රා ආචර් නොදැවී 21, බෙන් ඩ්වාර්ෂියුස් 66/3, ඇඩම් සම්පා 64/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 47.3 කදී කඩුලු 5 ට 356
(මැතිව් ෂෝට් 63, මානස් ලැබුෂේන් 47, ජොෂ් ඉංග්ලිෂ් නොදැවී 120, ඇලෙක්ස් කේරි 69, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 32)

- 213


 

- 213


අදහස් (0)

විශිෂ්ට සටනකින් පසු ඕස්ට්‍රේලියානුවෝ දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.