Last Update  :  2025-02-28 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket බ්‍රේස්වෙල් - රචින් නවසීලන්තය දිනවති
ශූරයන්ගේ කුසලාන

බ්‍රේස්වෙල් - රචින් නවසීලන්තය දිනවති

editorial - 2025 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිකල් බ්‍රේස්වෙල්ගේ පන්දු යැවීමත් රචින් රවීන්ද්‍රගේ ශතකයත් නිසා රාවල්පිණ්ඩි නුවරදී අද (24 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී බංග්ලාදේශය කඩුලු 5 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ලකුණු 237 ක පහසු ඉලක්කයක් කරා ගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 46.1 කදී ලකුණු 240 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය  කළේය. 

මේ වන විට තරග දෙකක් බැගින් පරාජය වී සිටින බැවින් සත්කාරක පාකිස්තානයට සහ බංග්ලාදේශයට අවසන් පූර්ව වටයෙන් ඉවත්  වීමට සිදුවී  තිබේ. දෙපිලටම තවත් තරගයක් බැගින් ඉතිරිව තිබෙන නමුත් දෙපිලෙන් කාට හෝ ප්‍රසාද ලකුණු 04 ක් ලබාගැනීමේ අවස්ථාවක් නැත. 

පාකිස්තානය තරගාවලියේ සත්කාරක රට මෙන්ම ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවෝද වෙති. 

ලකුණු 237 ක ඉලක්කය කරා යාමේදී ලකුණු 15 ට නවසීලන්ත කඩුලු දෙකක් බිඳ වැටුණු නමුත් ඩෙවොන් කොන්වේ (30) සහ ටොම් ලෙතම් (55) සමගින් එක්ව නවසීලන්තය ඉදිරියට ගෙන ගිය රචින් රවීන්ද්‍ර තම සිව්වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය. පන්දු 105 කට මුහුණ දුන් වමත්  පිතිකරුවා හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය. 

බ්‍රේස්වෙල්ගේ අගනා පන්දු යැවීමත් සැමදාමත් ඉහළින් තිබෙන නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමත් නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 236 කට සීමා කෙරිණ. මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි මයිකල් බ්‍රේස්වෙල්, පන්දු යවන්නා දිව එන සීමාවට දිවගොස් රැකගන්නා ලද උඩපන්දුව නිසා බංග්ලාදේශ නායකයාගේ පිතිහරඹය ලකුණු 77 කට සීමා විය. 

නවසීලන්ත පන්දු යවන්නන්ගේ අපේෂාව වූයේ වෙනත් ආකාරයේ තණතීරුවක් වූවත් කාසියේ වාසිය දිනාගත් මිචෙල් සෑන්ට්නර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. එහි උපරිම ප්‍රයෝජන සිය නායකයාට ගෙන දුන් මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගත්තේ බංග්ලාදේශ කණ්ඩායම සහමුලින්ම අමාරුවේ දමමිනි. 

සිය දෙවැනි පන්දුවේදීම ටැන්සිඩ් හසන් දවාගත් බ්‍රේස්වෙල් අවසන් ඕවර තුනේදී තවත් කඩුලු 3 ක් දවාගත්තේය. බ්‍රේස්වෙල් සිය ඕවර 10 ම එක දිගට යැවූ අතර ඔහුගේ පන්දු යැවීම අවසන් වන විට බංග්ලාදේශයේ ප්‍රබලතම පිතිකරුවෝ පස් දෙනා ලකුණු 119 කට දැවී ගොස් සිටියහ. බ්‍රේස්වෙල් යැවූ පන්දු 60 න් පන්දු 43 ක්ම ලකුණු ලබා නොගත් ඒවා ද විය. 

වරෙක කඩුලු දෙකකට ලකුණු 97 ක් ලෙසින් සටහන් කළ බංග්ලාදේශ ලකුණු පුවරුව, බ්‍රේස්වෙල්ගේ අවසන් ඕවර තුන නිමා වීමත් සමගින් කඩුලු 5 කට ලකුණු 118 ක් ලෙසින් දිස්විය. බ්‍රේස්වෙල්ගේ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ ලකුණු ලබාගැනීම බෙහෙවින් මන්දගාමී වූයේය. 12 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා ඕවර 8 ක් ඇතුළත බංග්ලාදේශ පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 25 කි. ලකුණු ලබාගැනීම කෙතරම් මන්දගාමී වූයේද යත් 25 වැනි ඕවරය වන වට යවා තිබුණු පන්දු 150න් පන්දු 97 ක්ම ලකුණු ලබා නොගත් පන්දු ලෙසින් සටහන් වී තිබිණ. 

අඩි 6 යි අඟල් 4 ක් උස වේග පන්දු යවන්නා වන විලියම් ඕ’රූක් යැවූ පන්දු 60 න් පන්දු 42 ක් ලකුණු ලබා නොගත් ඒවා විය. 


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 9 ට 236 යි
(ටැන්සිඩ් හසන් 24, නජ්මුල් හොසේන් ශන්ටෝ 77, මෙහෙදි හසන් මිරාස් 13, ජකාර් අලී 45, රෂීඩ් හොසේන් 26, ටස්කින් අහමඩ් 10, මයිකල් බ්‍රේස්වෙල් 26/4, විලියම් ඕ’රූක් 48/2) 

නවසීලන්තය - ඕවර 46.1 කදී කඩුලු 5 ට 240 යි
(ඩෙවොන් කොන්වේ 30, රචින් රවීන්ද්‍ර 112, ටොම් ලෙතම් 55, ග්ලෙන් පිලිප්ස් නොදැවී 21, මයිකල් බ්‍රේස්වෙල් නොදැවී 11)

 

- 213


අදහස් (0)

බ්‍රේස්වෙල් - රචින් නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.