Last Update  :  2024-12-27 11:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket යොවුන් ආසියානු කුසලාන අවසන් පූර්ව තරග හෙට

යොවුන් ආසියානු කුසලාන අවසන් පූර්ව තරග හෙට

editorial - 2024 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සංගමය 11 වැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (6 වැනිදා) ඩුබායිහිදී සහ සාජාහිදී පැවැත්වේ. 

ඩුබායිහිදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තරග වදින අතර සාජාහිදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ඉන්දීය යොවුන් කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. 

‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ පාකිස්තානය මූලික වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසියේය. ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු බංග්ලාදේශය අවසන් පූර්ව වටයට පිවිසියේ තරග දෙකක් ජයගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි. 

‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකාවද මූලික වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගෙන අපරාජිත බව රැකගෙන සිටියි. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්ව සිටින ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරගයකදී පාකිස්තානය හමුවේ පරාජයට පත්විය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, නේපාලය සහ ඇෆ්ඝනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා මූලික වටයෙන්ම ඉවතට විසිවිය. අවසන් පූර්ව වටයේදී ජය ලබන කණ්ඩායම් අතර මෙම මස 8 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. 

මේ දක්වා යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 10 ක් පවත්වා ඇති අතර ඉන් 8 කදීම ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්වී ඇත. ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය එක් වරක් බැගින් ශූරතාවට හිමිකම් කියා ඇති අතර පාකිස්තානය එක් අවස්ථාවකදී ඉන්දියාව සමගින් සම ශූරතාව දිනාගෙන ඇත. 

ශ්‍රී ලංකාව යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි වලදී වැඩිම අනු ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන කණ්ඩායම බවට පත්ව ඇත්තේ අවස්ථා 5 කදී අනු ශූරතාවට හිමිකම් කියමිනි. පාකිස්තානය දෙවරක්ද, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් වරක් බැගින්ද අනු ශූරයන් බවට පත්ව තිබේ. 


අදහස් (0)

යොවුන් ආසියානු කුසලාන අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.