Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
‘ඕවර 50 ක්‍රිකට්’ හෙවත් එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට ආවේණික විශේෂාංග මේවා යයි කදිමට පැහැදිළි කරදුන් චරිත් අසලංක, ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 49 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. ලකුණු 55 කට කඩුලු 5 ක් දැවී ගිය නමුත් තනි අතින් තම කණ්ඩායම ඔසවාගත් නායකයා ලකුණු 214 ක් කරා කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය.
වඩාත්ම තර්ජනාත්මක පිතිකරුවා වූ ඇලෙක්ස් කේරිගේ කඩුල්ලත් දවාගත් අසලංක, තීරණාත්මක අවස්ථාවලදී යුහුසුළුව පන්දු යවන්නන් වෙනස් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 165 කට සීමා කරගත්තේය.
තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියෙන් පරාජය නොවන ස්ථානයකට පැමිණ සිටී.
ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු කඩවී තිබූ 15 වැනි ඕවරයේ සිට තරගයේ අවසාන පන්දුව දක්වාම පිටියේ රැඳී සිටි නරඹන්නන්ට එය කදිම ආශ්වාදයක් මෙන්ම ප්‍රවේශපත් වෙනුවෙන් ඔවුන් වැයකළ මුදලේ පූර්ණ වටිනාකම ලබාගැනීමක් ද විය.
ලකුණු 215 ක පහසු ඉලක්කයක් කරා යා යුතු වූ නමුත් ඕස්ටේ්‍රලියානුවන්ගේ ආරම්භයත් ශ්‍රී ලංකා පිලේ ආරම්භය මෙන්ම විය. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම තුන්වැනි ඕවරය වන විටත් ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටි අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඕස්ට්‍රේලියානුවෝත් ලකුණු 31 දී සිව්වැනි කඩුල්ලත් බිම දමාගත්හ.
මානස් ලැබුෂේන් සහ ඇලෙක්ස් කේරි එක්ව ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් මහීෂ් තීක්‍ෂණ සහ චරිත් අසලංක එක්ව පන්දු 5 ක් ඇතුළත දෙදෙනාවම පිටියෙන් ඉවත් කළහ.
තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙත නැඹුරු වූයේ ඇලෙක්ස් කේරි දැවී යාමෙනි.
එතැන් සිට ග්‍රහණය දැඩිකළ ශ්‍රී ලාංකිකයෝ ඕස්ට්‍රේලියානුවන්ට ස්ථාවර වෙන්නට නොදී කඩුලු දවාගත්හ. සංචාරකයෝ ද පහසුවෙන් කඩුලු නොදීමට වගබලා ගත්හ. එහෙත් ඉතිරිව තිබූ විතීවි අවස්ථාව ප්‍රයෝජනයට ගත් නායකයා, ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් පිතිකරුවාත් දවාගනිමින් මහීෂ් තීක්‍ෂණට සිව්වැනි කඩුල්ල හිමිකර දුන්නේය.
කාසියේ වාසිය දිනා පිතිහරඹය තෝරාගත් නමුත් ශ්‍රී ලාංකිකයෝ ආරම්භයේදීම අමාරුවේ වැටුණහ. ශ්‍රී ලාංකිකයන්ගේ පිතිහරඹය කෙතරම් අසරණ වූයේද යත් 33 වැනි ඕවරයේදී 8 වැනි කඩුල්ලත් බිඳ වැටිණ.
මැතිව් ෂෝට් ආරම්භක පිතිකරුවා වන නමුත් අවස්ථානුකූල පිට දඟ පන්දු යවන්නෙකි. 36 වැනි ඕවරය යවමින් සිටි මැතිව් ෂෝට් හමුවේ තනි ලකුණු ලබා ගැනීමට චරිත් අසලංක උත්සුක නොවූයේ අනෙක් අන්තයේ සිටි අංක 10 පිතිකරු එෂාන් මාලිංගව බිලි නොදීමේ අරමුණිනි.
ඕවර 13.1 ක් තිස්සේ එෂාන් මාලිංගව ආවරණය කරගත් නායකයා, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක් එකතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 135 සිට 214 දක්වා ඉදිරියට තල්ලු කරමිනි. ඒ අතරවාරයේදී එෂාන් මාලිංග ලබාගත්තේ එක ලකුණකි.
පන්දු 126 කට මුහුණ දුන් අසලංකගේ අලංකාර ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය. එය ඔහුගේ සිව්වැනි එක්දින ශතකය මෙන්ම තරග 72 ක එක්දින දිවියේ හොඳම පිතිහරඹයද විය. අසලංකගේ දැවී යාමෙන් පන්දු හතරකට පසුව ශ්‍රී ලංකා ඉනිම නිමා විය.
ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ පිතිකරුවන් පිතිහරඹයේ යෙදුණේ පාසල් ක්‍රීඩකයන් ලෙසිනි. තරගයේ දෙවැනි ඕවරය නිමාවේදීම ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. අවිශ්ක ප්‍රනාන්දුගේ දැවී යාම සිහිගැන්වූයේ පාසල් පුහුණුකරුවකු තම ක්‍රීඩකයන්ට උඩපන්දු අල්ලාගැනීමට පුහුණු කරවන ආකාරයයි.
ආර්. ප්‍රේමදාස තණතීරුව තද දුඹුරු පැහැයෙන් දිස්වූ නමුත් ඕස්ට්‍රේලියානු නායකයා වේග පන්දු යවන්නන් සිව් දෙනකු සිය කණ්ඩායමට ඇතුළත් කරගත්තේය. අරුමයකට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් හත් දෙනාගෙන් හය දෙනෙක්ම වේග පන්දු යවන්නන් හමුවේ දැවී ගියෝය. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 10 න් 8 ක් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් විසින් බිඳ හෙළන ලදහ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි එක්දින තරගය සිකුරාදා (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.