Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket තණතීරුව දුඹුරු පැහැයේ යාර 22 ක් වෙයි
එක්දින තරගාවලිය

තණතීරුව දුඹුරු පැහැයේ යාර 22 ක් වෙයි

editorial - 2024 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට....)

දඟ පන්දුව හමුවේ අමාරුවේ වැටීම එකකි. දඟ පන්දුව කියවාගැනීමට නොහැකි වීම තවත් එකකි. මේ දෙකම එක්කාසු වන්නේ තණකොළ ගහක්වත් නැති, කාෂ්ඨක වෙන්නට වියැළුණු දුඹුරු පැහැය ගත් යාර 22 කදී නම්, සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින අන්තර්ජාතික තරගය සඳහා සූදානම් කර ඇති යාර 22 ට තණතීරුව යයි කිව නොහැක්කේ එහි එකම තණකොළ ගහක් හෝ දක්නට නැති බැවිනි. 

එවැනි යාර 22 කදී දඟ පන්දු යවන්නන් පස්දෙනකුට මුහුණ දීම නවසීලන්තය හමුවේ ඇති අභියෝගයයි. කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක යන පිතිකරුවන් දෙදෙනාත් දඟ පන්දු යවන්නෝ වෙති. ඔවුන් දෙදෙනාට මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ එක්වූ කල්හි එකිනෙකාට හාත්පසින්ම වෙනස් දඟ පන්දු යවන්නෝ පස් දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට සිටිති. 

ක්‍රිකට් තරගයකදී ජය හෝ පරාජය සාමාන්‍ය දෙයකි. එහෙත් වඩාත් වැදගත් වන්නේ පරාජයෙන් පසුව නැඟී සිටීමයි. ඉරිදා රාත්‍රියේ ලද පරාජයෙන් පසුව එක්දින තරගාවලියට වූ සූදානම ගැන කළ විමසීමේදී චරිත් අසලංක කියා සිටියේ කණ්ඩායමේ අභිප්‍රාය හැකි තරම් ඉහළින් නැවත නැඟී සිටීම බවයි. 

“අපි කණ්ඩායමක් විදිහට කතා වුණේ නැවත නැඟී සිටීම ගැනයි. ඒක හොඳටම කරන්න ඕනේ.. එතකොට අර පරාජයේ දේවල් අමතක වෙනවා” යයි ශ්‍රී ලංකා නායකයා අද පස්වරුවේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය. 

නවසීලන්තය එක්දින අන්තර්ජාතික තරගයකට සහභාගි වන්නේ මාස 11 කට පසුවය. ඔවුන් අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ 2023 දෙසැම්බර් 23 වැනිදා බංග්ලාදේශයට එරෙහිව නේපියර් නුවරදීය. 

“ඒ ගොල්ලන් වගේ නෙමෙයි අපි එක්දින තරගවලට දිගින් දිගටම ක්‍රීඩා කරමින් හිටියේ. ඒ හින්දා මම හිතනවා ඒක අපට වාසිදායක තත්ත්වයක් කියලා..... අනෙක අපි පසුගිය තරගවලදිත් හොඳින් ක්‍රීඩා කළා”

“ඒ නිසා මේ තරගාවලියත් හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා” යයි ද අසලංක වැඩිදුරටත් පැවසීය. 

වනිඳුගේ අහිමි වීම මේ වෙලාවේ කණ්ඩායමට සෑහෙන අවාසියක් වුණද පසුගිය එක්දින තරගාවලි කිහිපයේදීම හොඳින් ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමේ සිටී. වැන්ඩසේ සිටියදීම දුෂාන් හේමන්තත් සංචිතයට ඇතුළත් කර ඇති නමුත් හෙට තරගයේදී හේමන්තට අවස්ථාවක් ලැබීම බොහෝ දුරස්ථ බවද ශ්‍රී ලංකා නායකයා අද පස්වරුවේදී පැැවති පුවත් පත් සාකච්ඡාවේදී තහවුරු කළේය. 

“පසුගිය තරග වලදී අපට තිබුණ ලොකුම වාසිය තමයි බංකුවේ හිටපු ක්‍රීඩකයන්ගේ හයිය... පැතුම් නිස්සංක ආබාධයකට ලක්වුණ වෙලාවේ නිශාන් මධුෂ්ක ගෙනාවාම එයා හොඳින් ක්‍රීඩා කළා. බංකුවේ සිටින ක්‍රීඩකයන්ගේ හයිය නිසා වනිඳු නැති මේ වෙලාවේදී වැන්ඩසේ එයාගේ අවස්ථාව හොඳින්ම ප්‍රයෝජනයට ගනීවි” යයි අසලංක විශ්වාසය පළ කළේය. 

නිශාන් මධුෂ්ක සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනා අතර ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට තියුණු තරගයක් තිබේ. කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ  පළමු තරග දෙකේදී අසාර්ථක වූ නමුත් තුන්වැනි තරගයේදී අවිශ්ක ලකුණු 34 ක් ලබාගත්තේය. පන්දු 100 කින් ලකුණු 90 ක් ලබාගැනීමේ හැකියාවකින් යුත් මෙම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගු දුර සැලැස්මේ ප්‍රධාන චරිතයක් වන හෙයින් තරග දෙකක් අසාර්ථක වූ පමණින් ඔහු කණ්ඩායමෙන් හළා දැමීමට නායකයා සූදානම් නැත. 

“මගේ පෞද්ගලික අදහස නම් අවිශ්ක ප්‍රනාන්දුගේ අවස්ථාව අපි එයාට දෙන්න ඕන. මොකද එයා ඉන්දියානු තරගාවලියේදී (තරග 3  කදී ලකුණු 137 ක්) හොඳින් ක්‍රීඩා කළා. කොදෙව් පිලට එරෙහි තරගාවලියේ තුන්වැනි තරගයේදීත් කණ්ඩායමට හොඳ දායකත්වයක් දුන්නා” යයි චරිත් අසලංක පැවසීය. 

“එකපාරටම ක්‍රීඩකයන් මරු කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ. මම විතරක් නෙමේ තේරීම් කමිටුව වගේම ප්‍රධාන පුහුණුකරුවා හිතන්නෙත් ඒ විදිහටයි. ඕනැම ක්‍රීඩකයකුට සාධාරණ කාලයක් දෙන්න ඕනේ...”

“අනෙක් කාරණය තමයි කණ්ඩායම ඇතුළට එන ක්‍රීඩකයා ඒ අවස්ථාව ගන්නේ ගොඩාක් වෙහෙස වෙලා.... අසීරුවෙන්. එතකොට එයාත් තමනන්ගේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා..”

“මේක තමයි වෙන්න ඕන දේ” චරිත් අසලංක පැහැදිළි කළේය. 

නායකයකු වශයෙන් ඔහු එය අත්දැකීමෙන්ම දනී. 

චරිත් අසලංක, 2016 දී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකයා වුවද, එදා ඔහුගේ කණ්ඩායමේ සිටි පස් දෙනක්ම අසලංකට කලින් ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්හ. එහෙත් ඉතා අසීරුවෙන්, 2021 ජූනි සහ ජූලි මාසවලදී එක්දින සහ විස්සයි-20 හිස්වැස්ම දිනාගත් චරිත් අසලංක, වසර 3 ක ඇවෑමෙන් කණ්ඩායම් දෙකේම නායකයා වී සිටී. 

නවසීලන්ත කණ්ඩායමේත් දඟ පන්දු යවන්නෝ කිහිප දෙනෙක් සිටිති. ප්‍රතිවාදීන් විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු වූයේ මිචෙල් සෑන්ට්නර් වෙත වුවද සෑන්ට්නර් සමගින් ගනුදෙණුව බේරා ගැනීමට ශ්‍රී ලාංකික පිතිකරුවන්ට පුළුවන. 

ඉරිදා පැවැති තරගයේදී ආබාධයකට ලක්වූ ලොකී ෆර්ගසන් හෙට තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. එහෙත් නවසීලන්ත කණ්ඩායමට එක්වන ඇඩම් මිල්න් ගැනත් අවධානය යොමු වී තිබේ. 

“ඇඩම් කියන්නේ ලොකීගේ හිදැසට හරියටම ගැලපෙන ක්‍රීඩකයෙක්. එයාට නියම වේගයක් තියෙනවා විතරක් නෙමේ එයා අත්දැකීම් රාශියක් කණ්ඩායමට ගේනවා” යයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා කීවේය. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායකයා), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක සහ මොහොමඩ් ෂිරාස්

නවසීලන්ත සංචිතය : 
මිචෙල් සෑන්ට්නර් (නායකයා), මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ජොස් ක්ලාක්සන්, ජේකබ් ඩෆී, ලොකී ෆර්ගසන්, සැක් ෆෝල්ක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මිච් හේ (කඩුලු රකින්නා), හෙන්රි නිකොල්ස්, ග්ලෙන් පිලිප්ස්, ටිම් රොබින්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝධි, ඇඩම් මිල්න් සහ විල් යං

නායක චරිත් අසලංක, පුහුණුකරු සනත් ජයසූරිය සහ තේරීම් කමිටු සභාපති උපුල් තරගං සාකච්ඡාවක

දඟ පන්දු යවන්නන් වන ජෙෆ්රි වැන්ඩසේ සහ දුනිත් වෙල්ලාලගේ තරගයට පෙරම සතුටින්

කුසල් මෙන්ඩිස් සිය දණහිස ආවරණය පළඳිමින්...

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

 


අදහස් (0)

තණතීරුව දුඹුරු පැහැයේ යාර 22 ක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.