Last Update  :  2024-11-22 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket නවසීලන්තය මාස 11 කට පසු එක්දින පිටියට
ශ්‍රී ලංකා සංචාරය

නවසීලන්තය මාස 11 කට පසු එක්දින පිටියට

editorial - 2024 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 

(දමින්ද විජේසූරිය)

මාස 11 කට පසුව, එක්දින තරගයකට සහභාගි  වීම සඳහා නවසීලන්ත කණ්ඩායම ලබන 4 වැනිදා දිවයිනට පැමිණෙයි. නවසීලන්ත පිලේ ශ්‍රි ලංකා සංචාරයට එක්දින තරග 3 ක් මෙන්ම විස්සයි-20 තරග දෙකක් ද ඇතුළත් වේ.

නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 23 වැනිදා බංග්ලාදේශයට එරෙහිව නේපියර් නුවරදීය. එම තරගයේදී නවසීලන්තය කඩුලු 9 කින් පරාජය වූවත්, තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගත්තේය.

නවසීලන්ත එක්දින කණ්ඩායමේ නායකයාව සිටි කේන් විලියම්සන් මේ වසර මුලදී නායකත්වයෙන් ඉල්ලා අස්විය. එම කණ්ඩායමේ නායකත්වය වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් වෙත පවරා ඇතත් එය තාවකාලික පත්කිරීමක් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නවසීලන්ත පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන නායක ටිම් සවුති, කේන් විලියම්සන්, ටොම් බ්ලන්ඩ්ල්, ඩෙවොන් කොන්වේ, ටොම් ලේතම්, ඩැරිල් මිචෙල්, විලියම් ඕ’රූක් සහ රචින් රවීන්ද්‍ර ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සැලකිල්ලට ලක්කර නැත. ඊට හේතුව ලබන වසරේදී එංගලන්තයට එරෙහිව පැවැත්වන තරගාවලිය සඳහා නවසීලන්තය වැඩි අවධානයක් යොමු කිරීමයි.

නවසීලන්ත සංචිතය නවක ක්‍රීඩකයන් කිහිපදෙනකුගෙන්ම සමන්විතය. ඔවුන් අතුරින් තුන් ඉරියව් ක්‍රීඩක නේතන් ස්මිත් සහ කඩුලු රකින්නා වන මිචෙල් හේ ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික තරග වරම් ලැබීමට නියමිතය. නේතන් ස්මිත් නවසීලන්තයේ හොඳම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් පසුගියදා සම්මාන දිනාගත්තේය. කඩුලු රකින්නා වන මිචෙල් හේ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් සාර්ථක වූ ක්‍රීඩකයෙකි.

ලොකී ෆර්ගසන්, පස් දෙනකුගෙන් සමන්විත වේග පන්දු යවන්නන්ගෙන් වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයාය. නේදන් ස්මිත්, ජේකබ් ඩෆී, සැක් ෆෝල්ක්ස් සහ ජොස් ක්ලාක්සන් සෙසු වේග පන්දු යවන්නෝ වෙති.

මෑතකදී ඉන්දියාවේ සංචාරය කළ නවසීලන්ත ක්‍රීඩකයන්ගෙන් හය දෙනකුම විස්සයි-20  සහ එක්දින සංචිතයට ඇතුළත් කර සිටිති. මෙම සංචිතය සමගින් ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම ගොඩනඟන බව නවසීලන්ත තේරීම් කමිටු නිලධාරී සෑම් වෙල්ස් මහතා පැවසීයයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.

 

නවසීලන්ත සංචිතය :

මිචෙල් සෑන්ට්නර් (නායකයා), මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ජොස් ක්ලාක්සන්, ජේකබ් ඩෆී, ලොකී ෆර්ගසන්, සැක් ෆෝල්ක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මිච් හේ (කඩුලු රකින්නා), හෙන්රි නිකොල්ස්, ග්ලෙන් පිලිප්ස්, ටිම් රොබින්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝධි සහ විල් යං

 

තරග කාලසටහන
නොවැ 9 - පළමු වැනි වි-20 තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
නොවැ 10 - දෙවැනි වි-20 තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
නොවැ 13 - පළමු වැනි එක්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
නොවැ 17 - දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී
නොවැ 19 - තුන්වැනි එක්දින තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

නවසීලන්තය මාස 11 කට පසු එක්දින පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.