Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටෙයි
යොවුන් ආසියානු කුසලාන

ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටෙයි

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. 

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (6 වැනිදා) පැවැති මෙම අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අපරාජිත බව බිඳ දමමින් ඕවර 21.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම ඉලක්කය සපුරාගත්හ. 

මීට දින කිහිපයකට ඉහත පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වාර්තාවක්ද පිහිටුවමින් ඉන්දීය රුපියල් කෝටියකට වැඩි මිලකට අලෙවි වූ 13 හැවිරිදි වයිබව් සූර්යවංශී, මෙම තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගනිමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. 

එහිදී පන්දු 36 කට මුහුණදුන් සූර්යවංශී, හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 67 ක් රැස්කළ අතර සෙසු ආරම්භක පිතිකරුවා වූ අයුෂ් මහත්‍රී (34) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 91 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 27 කදී වාර්තා වූ අයුෂ්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.
 
නායක මොහොමඩ් අමාන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළ අතර හයේ පහරකින් ඔහු ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් නායක විහස් තෙව්මික, ප්‍රවීන් මනීෂ සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් දවාගත්ද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඕවර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලක්වින් අබේසිංහ පන්දු 110 කින් ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ශාරුජන් ශන්මුගනාදන් පන්දු 78 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය.  

ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ චේතන් ශර්මා නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනිවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් කිරන් චෝර්මලේ සහ අයුෂ් මහත්‍රී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 173 
(ශාරුජන් ශන්මුගනාදන් 42, ලක්වින් අබේසිංහ 69, විහස් තෙව්මික 14, චේතන් ශර්මා 34/3, කිරන් චෝර්මලේ 32/2, අයුෂ් මහත්‍රී 37/2) 

ඉන්දීය යොවුන් පිල - ඕවර 21.4 කදී කඩුලු 3 ක් දැවී 175 
(අයුෂ් මහත්‍රී 34, වයිබව් සූර්යවංශී 67, ඇන්ඩි්‍ර සිද්ධාර්ත් 22, මොහොමඩ් අමාන් නොදැවී 25) 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.