Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඈෂ්ලි බාර්ටි අවසන් මහ තරගයට

ඈෂ්ලි බාර්ටි අවසන් මහ තරගයට

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
සිය ක්‍රීඩා දිවිය තුළ පළමු වරට විම්බල්ඩන් ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි සමත් වූවාය. ඒ අවසන් ඊයේ (8 වැනිදා) පැවැති පූර්ව තරගයකදී ජර්මනියේ ඇන්ජලික් කර්බර්ට එරෙහිව වට 2-0 ක (6/3, 7/6) ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව හෙට (10 වැනිදා) පැවැත්වෙන කාන්තා කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා එරෙහිව බාර්ටි තරග බිමට පිවිසීමට නියමිතය. අවසන් පූර්ව වටයේදී බෙලරුසයේ ආර්නා සබලෙන්කාට එරෙහිව තරග වට 2-1 ක (5/7, 6/4, 6/4) ජයක් වාර්තා කරමින් කැරොලිනා අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නීය.

අර්ධ අවසන් පූර්ව තරගයකදී සිය රටේම ක්‍රීඩිකාවක වන අජ්ලා ටොම්ල්ජොනොවික්ට එරෙහිව වට 2-0 ක (6/1, 6/3) ජයක් වාර්තා කරමින් බාර්ටි අවසන් පූර්ව වටයට පිවිසියාය. කැරෙලිනා අවසන් පූර්ව වටයට පිවි‍සියේ අර්ධ අවසන් පූර්ව තරගයකදී ස්විට්සර්ලන්තයේ වික්ටෝරිජා ගොලුබික්ට එරෙහිව වට 2-0 ක (6/2, 6/2) ජයක් වාර්තා කරමිනි.

පළමු වටයේදී බෙල්ජියමේ ග්‍රීට් මිනන්ට ‍‍එරෙහිවද, දෙවැනි වටයේදී ප්‍රංශයේ ඇලිස් කෝනට්ට එරෙහිවද, තෙවැනි වටයේදී ලැට්වියාවේ ජෙසෙනා ඔස්ටපෙන්කෝට එරෙහිවද ජය වාර්තා කළ බාර්ටි, අවසන් 16 දෙනාගේ වටයේදී බ්‍රිතාන්‍යයේ එමා රඩුකානුට එරෙහිව තරග වට 2-0 ක ජයක් ලබමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

"ඇත්තටම මෙය මට අදහාගත නොහැකි දෙයක්. මේ තරගය මෙතෙක් මම ක්‍රීඩා කළ තරග අතරින් හොඳම තරගයකට ආසන්නයි. ඇය (ඇන්ජලික්) මා තුළ තිබූ ඉහළම දක්ෂතාවන් පිටතට ගෙනාවා. එහිදී මගේ උපරිමය ලබාදිය යුතු බව මම දැනගෙන හිටියා. මේ සෙනසුරාදා මට සිහිනයක් සැබෑ කර ගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා." යැයි ජයග්‍රහණයෙන් පසුව බාර්ටි පැවසුවාය.

මේ වන විට 25 වැනි වියේ පසුවන බාර්ටි, 2019 වසරේ පැවැති ප්‍රංශ විවෘත ශූරතාවලිය ජය ගනිමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගත්තාය. ඉන් අනතුරුව 2020 වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද බාර්ටි සමත් වූ නමුත් එහිදී ඇමරිකාවේ සොෆියා කෙනින් හමුවේ පරාජයට පත්වීම නිසා ඇයට අවසන් මහ තරගයට පිවිසීමේ වරම් අහිමි වූවාය.

2018 වසරේ පැවැති විම්බල්ඩන් ශූරතාවලිය ජයගත් ඇන්ජලික්, මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් (6/2, 6/3) චෙක් ජනරජයේ කැරොලිනා මුචෝවා පරාජය කරමිනි. කෙ‍සේ වුවත් අවසන් පූර්ව වටයේදී බාර්ටි හමුවේ පරාජය වීම හෙත්වෙන් ඇයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූවාය.

- 036


අදහස් (0)

ඈෂ්ලි බාර්ටි අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.