Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ සම්මේලනය වසර දෙකක් අක්‍රියයි

එල්ලේ සම්මේලනය වසර දෙකක් අක්‍රියයි

නාමල් පතිරගේ - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්ලේ සම්මේලනයේ ගිණුම් හිස්වීමෙන් වසර දෙකක් තිස්සේ ජාතික තරගාවලිය ඇතුළු ප්‍රධානතම එල්ලේ තරගමාලා ගණනාවක් අත්හිටුවා තිබෙන බව වාර්තාවේ.

පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වියදම් සොයාගත නොහැකිවීමෙන් පුහුණු වැඩමුළු ඇතුළු එහි සියලු සංවර්ධන කටයුතු ද අත්හිටුවීමට සිදුව ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම් සිරිල් පෙරේරා මහතාගෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී පැවසුවේ මේ වනවිට අවසන් මහ තරගය පැවැත්වීමට ඉතිරිව තිබෙන වසර 2018 ජාතික එල්ලේ තරගාවලියේ ඉතිරිය ඇතුළු සම්මේලනයේ සෙසු සංවර්ධන කටයුතු සඳහා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලා තිබෙන බවයි.

එම ප්‍රතිපාදන ලැබුණු විගස එල්ලේ සම්මේලනයේ කටයුතු ආරම්භ කරන බවත් වසර 2018 ජාතික ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා දින යොදා ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

වසර 2018 ජාතික එල්ලේ ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා උදම්මිට ගාමිණි ක්‍රීඩා සමාජය හා කෝපියාවත්ත ‘රශ්මි’ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටිති. එහි අවසන් පූර්ව තරග පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වුණි. ඒ සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් ගණන 178කි.

එල්ලේ සම්මේලනයේ වත්මන් පාලනය ස්ථාපිත වූයේ වසර 2017 දෙසැම්බර් 31 වැනිදා පැවති නිලවරණයේදීය. එහිදී සභාපති ධුරයට එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ සහන් ප්‍රදීප් මහතා පත්විය. ප්‍රධාන ලේකම් ධුරයට පත්වූයේ සිරිල් පෙරේරා මහතාය.

සිරිල් පෙරේරා මහතා පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වුවත් නැවත සම්මේලනයේ විධායක සභාවේ ඇරියුමින් එම ධුරය බාරගත්තේය.

මේ අතර එල්ලේ ක්‍රීඩාවේ පවතින තත්ත්වය හමුවේ එල්ලේ සම්මේලනයේ අනුබද්ධ සංගමයක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා එල්ලේ විනිසුරුවන්ගේ සංගමය ද බිඳ වැටී ඇතැයි වාර්තා වේ.

එල්ලේ තරගාවලිය සඳහා විනිසුරුවන් හා තීරකරුවන්ගේ සේවය සපයන්නේ එල්ලේ විනිසුරු සංගමය මගිනි. එහෙත් සංගමය අක්‍රියව පවතින බැවින් එහි හිටපු නිලධාරීන් කීපදෙනෙකුගේ උවමනා එපාකම් මත දේශීය එල්ලේ තරගාවලිය සඳහා විනිසුරුවන් නිර්දේශ කිරීමෙන් මේ වනවිට එල්ලේ විනිසුරු ක්‍ෂේත්‍රයේ  ආරවුල් නිර්මාණය වී තිබෙන බව එල්ලේ විනිසුරු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

වාර්තා වන පරිදි එල්ලේ සම්මේලනය උග්‍ර මුල්‍ය අර්බුදයක පසු වුවත් එල්ලේ තරග පැවැත්වෙන කැලණිය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් එල්ලේ සම්මේලනයේ වියදමින් තණ කොළ කපා එළිපෙහෙළි කර ඇතැයි ද පැවසේ. නගර සභාවකට අයත් ක්‍රීඩාංගණයක් නඩත්තු කටයුත්තක් එල්ලේ සම්මේලනයේ වියදමින් කළේ කෙසේද යන්න එල්ලේ ප්‍රවීණයෝ විමසති.

ඒ සම්බන්ධයෙන් එල්ලේ සම්මේලනයේ ලේකම් සිරිල් පෙරේරා මහතා  පැවසුවේ එල්ලේ තරගාවලියක් පැවැත්වීම කඩිනම් කිරීම සඳහා එම කටයුත්තට මැදිහත්වීමට එල්ලේ සම්මේලනයට සිදුවූ බවයි.

මේ අතර සිරිල් පෙරේරා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමය බල ගැන්වීම සඳහා එහි නිලවරණය (2020-22) මෙම 22 වැනිදා කැඳවීමට තීරණය කළ බවයි. එහි පැවති පාලනය පසුගියදා විසුරුවා හැරිය බව ද ඔහු පැවසීය.

වසර 2017 දෙසැම්බර් 31 වැනිදා ස්ථාපිත වූ එල්ලේ සම්මේලනයේ වත්මන් පාලනය තුළින් ක්‍රීඩා සමාජ අපේක්‍ෂා කළ අරමුණු ඉටු නොවීම පිළිබඳව එම ක්‍රීඩා සමාජ ප්‍රධානීහු දැඩි ලෙස කණස්සල්ල පලකර සිටියහ.

ඒ අතර එල්ලේ සම්මේලනයේ පත්වූ නිලධාරි මණ්ඩලයේ සංයුතිය පිළිබඳව ද ගැටලු පැන නැගී තිබේ. එහිදී පාසල් සහ කාන්තා නියෝජනය වෙනුවෙන් සම්මේලනයේ විධායක සභාවට නියෝජිතයන් පත් කිරීමක් ද මෙතෙක් සිදුවී නැත.
මුදල් නැතිකමෙන් සම්මේලනය තුළ නිද්‍රාශීලිව කටයුතු කළ ද එහි ඇතැම් නිලධාරින්ගේ මැදිහත්වීමෙන් පසුගිය කාලයේ දී පෞද්ගලික තරගාවලි සංවිධානය කිරීමට උනන්දුවී සිටි බව ද එල්ලේ සම්මේලනයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එල්ලේ සම්මේලනයේ වත්මන් උපසභාපතිවරයෙකුගේ අනුග්‍රහයෙන් නොබෝදා ඒ අන්දමට දිවා රාත්‍රී එල්ලේ තරග මාලාවක් පවත්වා තිබේ. ජාඇළ නගර සභා පිටියේදී පැවති එම තරගාවලිය නැරඹීමට දස දහසකට අධික ජනකායක් පැමිණ සිටි බවත් කියැවේ. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් 250000ක් හා අනුශූරයන්ට රුපියල් ලක්‍ෂයක් ද ප්‍රදානය කර තිබේ.

ඒ පිළිබඳව එල්ලේ ප්‍රවීණයෝ පවසන්නේ එල්ලේ සම්මේලනයේ තරගාවලි මුදල් නොමැතිකමෙන් අත්හිටුවීමට සිදුව තිබෙන අවස්ථාවක එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

කෙසේ වුවත් එල්ලේ සම්මේලනයේ ලේකම් සිරිල් පෙරේරා මහතා පැවසුවේ උද්ගතව තිබෙන තත්ත්වය සම්මේලනයේ ප්‍රධානින් දැඩි ලෙස අවබෝධ කරගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් මුදල් තත්ත්වය  විසඳා ගෙන අත්හිටුවා තිබෙන සියලු එල්ලේ සංවර්ධන කටයුතු වහාම ඇරඹීමට කටයුතු කරන බවයි.

එල්ලේ සම්මේලනයේ (2020-21) නිලවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තබේ. ඒ සඳහා සූදානම් වීම සඳහා ඉදිරියේ දී නිලවරණ කමිටු ප්‍රකාශයට පත් කිරීමට ද එල්ලේ සම්මේලනය කටයුතු යොදා තිබේ. එල්ලේ සම්මේලනයේ විධායක සභා රැස්වීමක් පෙරේදා (4) පැවති බව ද වාර්තාවේ.


අදහස් (0)

එල්ලේ සම්මේලනය වසර දෙකක් අක්‍රියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.