Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් යන්න වියදම ලක්ෂ 220 යි

ඔලිම්පික් යන්න වියදම ලක්ෂ 220 යි

editorial - 2021 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
(නාමල් පතිරගේ)

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සඳහා ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ  220ක් (මිලියන 22ක්) වැය වන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. එහි මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ඉන් රුපියල් මිලියන 9.2ක් හෙවත්  41.4% ක වියදමක් සිය කමිටුව දරන බවයි.

ඉතිරිය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පියවීමට බලාපොරොත්තු වන බව පැවසූ ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල කණ්ඩායමේ සහභාගිත්වය ක්‍රීඩකයන් හා නිලධාරීන්  18 දෙනකුට  සීමා  වන බවත් පැවසීය.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන උපරිම නව දෙනකුට සීමාවනු ඇතැයි ද වාර්තා වේ. ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා  ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන මීළඟ (2020) ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන මෙරට ප්‍රභූවරුන් සඳහා වන නවාතැන් හා ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා රුපියල් මිලියන 5.7ක වියදමක් ද, ස්වීඩනයේ සිට ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ද්විත්ව පුරවැසිලාභිනී මැටිල්ඩා කාල්සන් සඳහා තවත් රුපියල් ලක්ෂ 14ක අමතර වියදමක් ද එහිදී දැරීමට සිදුව තිබේ.

අප්‍රේල් 23 වැනිදා පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට මෙරට අති විශේෂ ආරාධිතයන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ යන මහත්වරු සහභාගි වීමට නියමිතය.

ඒ අතර අගෝස්තු 8 වැනිදා ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහභාගි වීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකාවේ ටෝකියෝ ඔලිම්පික් තරග සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළවී තිබෙන ඇතැම් පුවත් නිවැරදි නොවන බව මැක්ස්වල් ද සිල්වා මහතා පැවසීය.

“සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 58 දෙනකුගෙන් සමන්විත වන බවට ප්‍රචාරය වෙලා තිබෙනවා. එය අසත්‍යයයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබාගැනීමේ අපේක්ෂාවෙන් තවදුරටත් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් ද ඇතුළත්ව 59 දෙනකුගේ ලැයිස්තුවක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සඳහා ඉදිරිපත් කර  තිබෙනවා. නමුත්  එහි සියලු දෙනාට ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. සමාජ මාධ්‍ය ජාලවල ශ්‍රී ලංකා කණ්ඩායම කියලා වරදවා වටහා ගෙන ඇත්තේ මේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ඉල්ලුම් කරලා තිබෙන පිරිස ගැනයි.” යයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

ඔවුන්ට ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ රැඳී සිටිය හැකි දින ගණන ද සීමාකර තිබේ. සිය ක්‍රීඩා ඉසව් සඳහා තරග වැදීමට දින පහකට කලින් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයට ළඟාවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමාණවත් වේ.

ඒ අතර සිය ක්‍රීඩා ඉසව්ව අවසන් වූ සැනින් පැය 48ක් ඇතුළත ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් ඉවත්ව සිය රට බලා පැමිණිය යුතු බවට දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට විශේෂයෙන් දැනුම්දීමට මේ වනවිට ටෝකියෝ ඔලිම්පික් තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීව ටෝකියෝ නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මහ සැසිවාරය නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරු ඊට සහභාගි වේ.


අදහස් (0)

ඔලිම්පික් යන්න වියදම ලක්ෂ 220 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.