Last Update  :  2025-03-16 19:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා ඇමැතිට මාස දෙකක අභියෝගයක්

ක්‍රීඩා ඇමැතිට මාස දෙකක අභියෝගයක්

editorial - 2023 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගැසට් නිවේදන නිකුත් කිරීම හැරෙන්නට වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගෙන් රටේ ක්‍රීඩාවට දැනෙන දෙයක් ඔහු ඇමැති ධුරය දැරූ පසුගිය කාලයේදී දකින්නට නොලැබුණු බව ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ හිටපු ලේකම් කීර්ති කුමාර බස්නායක මහතා කොළඹදී කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය.

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලයේ නිලවරණයෙන් පත්වූ (2022-26) විධායක සභාව අක්‍රිය කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය හෙළාදැකීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

කරාටේ දෝ සම්මේලනයේ හිටපු විධායක සභාවේ උප සභාපති මහින්ද සුවාරිස්, උප භාණ්ඩාගාරික වර්ජින් ප්‍රනාන්දු හා රත්නපුරය දිස්ත්‍රික් කරාටේ සංගමයේ සභාපති එන්.එස්. ධම්මික යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී කීර්ති බස්නායක මහතා වැඩිදුරටත් පැවැසුවේ, සිය විධායක සභාව අත්හිටවූ ජුලි 28 වැනිදා සිට දින 60ක කාලයක් තුළදී ක්‍රීඩා ඇමැතිවරයා නිලවරණයක් කැඳවා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය ස්ථාපිත කිරීමට කටයුතු නොකරන්නේ නම්, හිටපු විධායක සභාව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට තීරණය කර තිබෙන බවයි.

කීර්ති බස්නායක මහතා මෙසේ ද පැවැසීය.

“කරාටේ දෝ සම්මේලනයේ ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝගයෙන් ඉවත් කළ විධායක සභාවට 2026 වන තෙක් කටයුතු කරන්න බලය තිබ්බා. නමුත් කිසිදු වග විභාගයකින් තොරව අඩු තරමින් අපෙන් විමසීමක්වත් නොකර පත්වෙලා හිටපු විධායක සභාව ඉවත් කරලා අතුරු කමිටුවක් පත්කළා.

මේ අතුරු කමිටුවට පත්වෙලා ඉන්න සමහරු විවිධ චෝදනා ලබපු අයයි. ජපානයට ක්‍රීඩකයන් රැගෙන ගිහින් අතුරුදන් කිරීමේ චෝදනා ලබපු අයත් එහි ඉන්නවා. තවත් අය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ හිතමිතුරන් වෙලා ඉන්න අය.”

කරාටේ දෝ සම්මේලනයේ හිටපු  උප භාණ්ඩාගාරික වර්ජින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී පැවැසුවේ, සිය විධායක සභාව ක්‍රීඩා ඇමැතිවරයා විසුරුවා හරින විට කරාට් දෝ සම්මේලනයේ ගිණුමේ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ඉතිරි කර තිබුණු බවයි.

මෙම මාධ්‍ය හමුව ඇමතූ කරාටේ දෝ සම්මේලනයේ හිටපු උප සභාපති මහින්ද සුවාරිස් මහතා මෙසේ පැවැසීය.

“ඇමැතිවරයා ගත් තීරණයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කරාටේ තරග සහභාගිත්වයට තහනමක් පැනවීමේ තත්ත්වයක් මතු වෙලා තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට (2023) ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනකු නිර්දේශ ලබා තිබෙනවා. ඒ වගේම එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාටේ තරගාවලියටත්, ආසියානු ශූරතාවලියටත් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඊට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා වගකිව යුතුයි.”

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ වත්මන් විධායක සභාව අත්හිටුවමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කරාටේ අතුරු කමිටුව පත්කළේ පසුගිය ජුලි 28 වැනිදාය.

සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත එහි සභාපතිවරයා වන්නේ, ක්ලෙමන්ට් ද සොයිසා මහතාය. වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා හඳුන්වා දුන් ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය යටතේ වන ජාතික ක්‍රීඩා සංගම් සංශෝධිත රෙගුලාසි මාලාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයට ගිය අවස්ථාවේදී ඊට සහාය පළ කර සිටි ජාතික ක්‍රීඩා සංගම් අතර කරාටේ දෝ සම්මේලනය ද විය.

මේ අතර, ජුලි 28 වැනිදා කරාටේ දෝ සම්මේලනයේ එතෙක් කටයුතු කළ විධායක සභාව ඉවත් කිරීමත් සමග එහි සභාපති තනතුර අහිමි වූ එච්.එන්. සිසිර කුමාර මහතාට එතෙක් දරමින් සිටි දකුණු ආසියානු කරාටේ දෝ සම්මේලනයේ සභාපති ධුරයෙන් ද ඉවත් වීමට සිදු විය. කෙසේ වුවත්, වසර 2026 දක්වා ඔහුට මෙම ධුරයේ කටයුතු කිරීමේ අවස්ථාව හිමිව තිබුණි.


අදහස් (0)

ක්‍රීඩා ඇමැතිට මාස දෙකක අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.