Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන නිලවරණයට තහනම් නියෝගයක්

කායවර්ධන නිලවරණයට තහනම් නියෝගයක්

editorial - 2021 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජූනි 6 වැනිදා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ  පැවති  නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ විධායක සභාවේ කටයුතු වළකාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.

කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් මෙම අතුරු තහනම් නියෝග නිකුත් කරමින් දක්වා ඇත්තේ පැමිණිල්ල නැවත ලබන ජූලි 6 වැනිදා සළකා බැලෙන බවයි.

කොළඹ දිස්ත්‍රික් කායවර්ධන  සංගමයේ සභාපති දාතමින් චන්දන අලුත්ගේ මහතා හා එච්.ඩී.ඒ. ගුණසේකර මහතා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, නිලවරණ කමිටුවේ සභාපති උපාලි සමරවීර මහතා ඇතුළු එහි සාමාජිකයන් ප්‍රාදේශීය කායවර්ධන සංගම් 23ක සභාපතිවරුන් ඇතුළුව 35 දෙනකු වගඋත්තරකරුවන් කරමින් කොළඹ  දිසා අධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.

‘සූම්’ තාක්ෂණය ඔස්සේ ජූනි 6 වැනිදා  පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා කායවර්ධන නාගරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය වංචනික ක්‍රියාවක් බවත්, නිලවරණයක් පැවැත්විය යුත්තේ මහ සභාවක් ඉදිරියේ පමණක් බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරුවන් කියා තිබේ.

ඔවුන් වැඩිදුරටත් එමගින් අවධාරණය කර ඇත්තේ ජූනි 6 වැනිදා පැවැති කායවර්ධන නිලවරණය ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා ඇමැතිවරයාගේ ගැසට් නිවේදනවලට පටහැනිව පැවැත්වීමට කටයුතු කිරීමෙන් පැමිණිලිකරුවන් ඇතුළු  රටේ කායවර්ධන ක්‍රීඩා කේෂ්ත්‍රයට අසාධාරණයක් සිදු කර තිබෙන බවයි.

ජූනි 6 වැනිදා කායවර්ධන සම්මේලනයේ නිලවරණය කැඳවීමට පෙරත් පැමිණිලිකරුවන් අගතියට පත් කෙරෙන නීත්‍යානුකූල ක්‍රීඩා සංගම්  බලරහිත කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක්ම වාර්තා වූ බව පැමිණිලිකරුවෝ අධිකරණයට කියා සිටියහ.

ඒ අනුව පැවති නිලවරණයේදී පත්වූ විධායක සභාව පිළිබඳ විනිවිදභාවයක් නොමැති බැවින්ද ඡන්ද බලය ලබා දුන් සාමාජික  සංගම් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අනතුරුව නීත්‍යානුකූල නිලවරණයක් පැවැත්වීමට විධානයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවෝ අධිකරණයෙන් තවදුරටත් සහන ඉල්ලා සිටිති.

ජූනි 6 වැනිදා පැවති නිලවරණයත් කායවර්ධන සම්මේලනයේ සභාපති ධුරයට පත්වූයේ කොළඹ මහනගර සභාවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු වන ලයනල් කුමාර මහතාය.
පැමිණිල්ල ඉදිරිපත් කර සිටින චන්දන අලුත්ගේ මහතා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකුද වේ. වසර 2017 සිට කායවර්ධන සම්මේලනයේ පැන නැගී තිබෙන පරිපාලන ආරවුල් විභාග කිරීමකින් අනතුරුව ජූනි 6 වැනිදා  එහි නිලවරණය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් පැවැත්වීමට කටයුතු කෙරුණි.

පැමිණිල්ල ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ලක්ෂිකා රත්නායක මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ රසිකා ජයසිංහ හා නීතිඥ ලසිත කරුණාරත්න යන මහත්වරු පෙනී සිටියහ.   

 


අදහස් (0)

කායවර්ධන නිලවරණයට තහනම් නියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.