Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික තරගාවලිය නවතී

ජාතික තරගාවලිය නවතී

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අධිකරණ වාරණයක් විසඳා ගන්නාතුරු ජාතික එල්ලේ තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම අත්හිටුවීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය තීරණය කර තිබේ. උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය වත්තල දිසා අධිකරණයේ එල්ලේ සම්මේලනයට එරෙහිව පැවරූ නඩුවක් මීට පාදක වී තිබේ.

උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය අවසන් වරට පැවැති ජාතික එල්ලේ තරගාවලියේ ශූරතාව දිනා ගත් ක්‍රීඩා සමාජය ද වේ.

වසර 2022 ජාතික එල්ලේ තරගාවලිය යටතේ මාරවිල සිංහ පැටව් ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙමින් තිබිය දී අතරමග අත්හිට වූ තරගය යළි මුල සිට පවත්වන ලෙස ඉල්ලා උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය වත්තල දිසා අධිකරණයේ පැවරූ නඩුවක් අනුව එම තරගය සම්බන්ධයෙන් මෙම ජූලි 28 වැනිදා තෙක් කිසිදු තීරණයක් නොගන්නා ලෙස දන්වමින් අධිකරණය එහි දී එල්ලේ සම්මේලනයට වාරණයක් පනවා තිබේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, මාරවිල සිංහ පැටව් පිලේ නායකයා ඇතුළු පිරිසක් ද එහිදී වගඋත්තරකරුවන් කර තිබේ.

කෙසේ වුවත් එල්ලේ සම්මේලනය උනන්දු වී ඇත්තේ මතභේදයට තුඩුදුන් මෙම තරගය අතරමග නතර කළ තැන් පටන් යළි පවත්වා අවසන් කිරීමටය.

තරගයේ මතභේදයට තුඩුදුන් සිදුවීම වන්නේ මාරවිල ‘‘සිංහ පැටව්’’ කණ්ඩායම සමග පැවැත්වෙමින් තිබූ තරගයේ දී උදම්මිට ගාමිණී කණ්ඩායමේ ක්‍රීඩකයකු ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණයකට එකඟ නොවෙමින් ඔහු පහරදුන් බව කියන සිදුවීමයි.

මෙම සිදුවීමෙන් පසුව තරගය අත්හිටුවා තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ එල්ලේ සම්මේලනයේ නීති හා තරග කමිටුව නියම කර ඇත්තේ තරගය නතර කළ තැන් සිට යළි පවත්වා අවසන් කළ යුතු බවයි. ඊට එකඟ නොවූ උදම්විට ගාමිණී ක්‍රීඩා සමාජය අධිකරණයට යමින් ඉල්ලා ඇත්තේ මතභේදයට තුඩුදුන් සිදුවීම වාර්තා වූ එම තරගය වෙනත් ක්‍රීඩාංගණයක දී නතර කළ තැනේ සිට යළි පවත්වා එහි තීරණය ලබාගත යුතු බවයි.

කෙසේ වුවත් එහි දී විනිසුරුට පහර දුන් බව කියන ක්‍රීඩකයා අවසන් වරට පැවැති ජාතික තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට (ජාතික ශූරයාට) සම්මාන ලැබුවකු බව ද වාර්තා වේ.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා පැවසුවේ අධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තෙක් ජාතික තරගාවලියේ ඉතිරි සියලු තරග පැවැත්වීමට අත්හිට වූ බවයි.

‘අපිට අධිකරණයෙන් නියෝග ලැබුණේ අදාළ සිදුවීම වාර්තා වූ තරගය පමණක් තාවකාලිකව නතර කරන්න. නමුත් මෙම තරගය වගේම මෙවැනිම සිදුවීමක් වාර්තා වූ තවත් තරගයක තීරණය විසඳාගන්නා තුරු අපි මුළු තරගාවලිය තාවකාලිකව අත්හිටුවන්න තීරණයක් ගත්තා. මොකද එය මුළු තරගාවලියටම බලපෑමක් කර ඇති තරග දෙකක් වීම නිසා යයි ද ජයතිස්ස රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසීය.

කඩුවෙල ජයශ්‍රී පිල හා මැද කොළඹ ශ්‍රී විජය පිල අතර ජා-ඇල නාගරික ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික ශූරතා තරගයේදීත් විනිසුරුවරයකුට ක්‍රීඩකයකු විසින් පිත්තෙන් හිසට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සිදුවීමේ දී පහර කෑ විනිසුරුවරයා රෝහල් ගත කර තිබේ. මෙම තරගය ‘ශ්‍රී විජය’ පිල ජය ගෙන තිබෙන අතර විනිසුරුට පහරදුන් බව කියන කඩුවෙල ජය ශ්‍රී පිලේ ක්‍රීඩකයා ද මීට පෙර අවස්ථාවක දී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ලැබුවකු බව සඳහන් වේ.

එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා පැවසුවේ මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වෙනම විමර්ශන පැවැත්වීමට සූදානම්ව සිටිය දී ක්‍රීඩා සමාජ අධිකරණයට යාම කනගාටුවට කරුණක් බවයි.

කණ්ඩායම් 125 කගේ සහභගිත්වයෙන් ආරම්භ වූ මෙවර ජාතික එල්ලේ තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව පටය තෙක් තරග මේ වන විට පවත්වා අවසන් කර තිබේ. ඒ සඳහා තරග අයැදුම්පත් ගාස්තු හැරෙන්නට පිය පෞද්ගලික මුදලින් ද වියදම් දරා ඇතැයි එල්ලේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

ජාතික තරගාවලිය නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.