Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික පිහිනුම් සංචිතයට චීන පුහුණුකරුවන්

ජාතික පිහිනුම් සංචිතයට චීන පුහුණුකරුවන්

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගු කාලීන සැලැස්මක් මත පිහිටුවා ඇති ජාතික පිහිනුම් පුහුණු සංචිතයට චීන ජාතික පුහුණුකරුවන් බඳවා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය අදහස් කරයි. චීන - ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන යටතේ පුහුණුකරුවන් හුවමාරු කරගන්නා බැවින් එහිදී ජල ක්‍රීඩා හතරක් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමටද ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වෙයි.

පිහිනුම්, කිමිදුම්, වෝටර් පොලෝ සහ කලාත්මක පිහිනුම් යන ක්‍රීඩා ඉසව් හතරෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙන්ම ඔලිම්පික් උළෙලේද පළමු රටවල් 5 අතරට පැමිණෙමින් ජල ක්‍රීඩාවන්හි ජාත්‍යන්තර වශයෙන් විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට චීනය සමත්ව තිබේ.

"චීනය කියන්නෙ ජල ක්‍රීඩාවල නිරත වන ලොව හොඳම රටවල්වලින් එකක්. ඒ නිසා මෙම ක්‍රීඩා හතර දියුණු කිරීම සඳහා චීන-ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන යටතේ චීන පුහුණුකරුවන් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා." යැයි ජල ක්‍රීඩා සංගමයේ සභාපති නේතෘෘ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවට බොහෝ දුරට චීන පුහුණුකරුවන්ගේ සේවය ලබා ගත හැකි බවත්, ඒ සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීමට සිදුනොවනු ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය.

"එය අපගේ සංවර්ධන වැඩ සටහන් අලුත් මඟකට යොමුකරන බවට බවට සැකයක් නැහැ. එමඟින් අපේ ක්‍රීඩකයන්ට ධනාත්මක මෙන්ම දිගු කාලීන ප්‍රතිලාභ ලැබේවි." යැයිද නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඉදිරි වැඩ සටහන් හා ඉසව් පැවැත්වීමේදී රට කළාප හතරකට බෙදා වෙන් කිරීමට ජල ක්‍රීඩා සංගමය පියවර ගනු ඇත. දිවයිනේ දක්ෂ පිහිනුම් ක්‍රීඩකයන්ගෙන් බොහොමයක් බිහිවන්නේ කොළඹින් වන බැවින්, පිට පළාත්වල සිටින දක්ෂ ක්‍රීඩකයන් හඳුනාගැනීම එලෙස කළාප හතරකට වෙන් ‍කිරීමට හේතුව ලෙස දැක්විය හැකිය.

මෙම ක්‍රමය තුළින් සෑම කලාපයක්ම පළාත් දෙකකින් හෝ තුනකින් සමන්විත වන අතර එම පළාත් තුළ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට අනුබද්ධ අනු ක්‍රීඩා සමාජ සහ සංගම්ද ක්‍රියාත්මක වනු ඇත. නුදුරු අනාගතයේදී දිවයින පුරා පිහිටි එම කලාපීය සංගම් අතර අන්තර් කලාපීය තරගාවලියක් පැවැත්වීමටද ජල ක්‍රීඩා සංගමය අදහස් කරයි.

මේ අතර දිවයින පුරා සිටින සියලුම ජල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා I ශ්‍රේණියේ පුහුණු සහතිකයක් ලබාදීම සඳහා ලෝක ජල ක්‍රීඩා සම්මේලනයේ පිළිගත් පාඨමාලාවක් පැවැත්වීමටද ජල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ප්‍රමුඛ පෙළේ පිහිනුම් පුහුණුකරුවන් දෙදෙනෙකු වන මනෝජ් අබේසිංහ මහතා සහ ජූලියන් බෝලින් මහතා ඔවුන්ගේ දැනුම සහ පළපුරුද්ද උපයෝගී කරගනිමින් ඉතා සාර්ථක ලෙස පිහිනුම් විද්‍යායතන  මෙහෙයවමින් සිටිති. ඔවුන් මෙන්ම සෙසු තරුණ පුහුණුකරුවන්ද වෘත්තීය මට්ටමකට රැගෙන ඒම සඳහා කටයුතු කිරීම‍ට ජල ක්‍රීඩා සංගමය කැමැත්තෙන් පසුවේ.

-036


අදහස් (0)

ජාතික පිහිනුම් සංචිතයට චීන පුහුණුකරුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.