Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජොකොවික් 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට ලඟා වෙයි

ජොකොවික් 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට ලඟා වෙයි

editorial - 2021 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංගේරියාවේ මාටන් ෆුසොවික්ස්ට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක ජයක් වාර්තා කරමින් මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය. ඒ අනුව ඔහු හෙට (9 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී කැනඩාවේ ඩෙනිස් ෂාපොලොව්ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.

තමාට වඩා අවුරුදු 5 කින් වැඩිමල් ජොකොවික්ට අර්ධ අවසන් පූර්ව තරගයේදී කිසිදු අභියෝගයක් එල්ල කිරීමට මේ වන විට 29 වැනි වියේ පසුවන ෆුසොවික්ස් අසමත් විය. එහිදී පළමු වටය ලකුණු 6-3 ක් ලෙස ජොකොවික් හමුවේ පරාජය වූ ෆුසොවික්ස්, දෙවැනි සහ තෙවැනි වට පරාජයට පත්වූයේ ලකුණු 6-4 ක් ලෙසිනි.

මෙම ජයග්‍රහණයත් සමග ජොකොවික් කෙමෙන් කෙමෙන් සිය 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට ලංවෙමින් සිටින අතර ඒ සඳහා ඔහුට ඇත්තේ තවත් අදියර 2 ක් පමණි. මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැකි වුවහොත් ජොකොවික්ට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ සර්බියාවේ රෆායල් නඩාල් සමග සම වීමේ අවස්ථාවද හිමිවනු ඇත.

මේ දක්වා ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 19 ක් දිනා ගැනීමට ජොකොවික් සමත්ව සිටියි. ඊට මේ වසරේ (2021) පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ශූරතාව මෙන්ම ජූනි මාසයේදී පැවැති ප්‍රංශ විවෘත ශූරතාවද ඇතුළත්වේ.

කෙසේ වුවත් මෙවර විම්බල්ඩන් ශූරතාව දිනාගැනීම සඳහා ජොකොවික්ට තිබූ විශාලම බාධක දෙකම මේ වන විට ඔහුගේ ගමන් මාර්ගයෙන් ඉවත්වී තිබීම නිසා ඔහුට කිසිදු අපහසුවකින් තොරව සිය අරමුණ සාක්ෂාත් කරගත හැකි වනු ඇතැයි ටෙනිස් වි‍චාර‍කයෝ පවසති.

දීර්ඝ මැටි පිටි තරග වාරයකින් පසුව තමාට කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමින් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් වූ අතර අවසන් පූර්ව වටයේදී පෝලන්තයේ හියුබට් හර්කාස් හමුවේ පරාජය වීම නිසා ෆෙඩරර්ටද මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඔවුන් දෙදෙනාම මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 බැගින් දිනා සිටිති.

විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට ෆෙඩරර් සමත්ව සිටියි. නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි.

 

-036


අදහස් (0)

ජොකොවික් 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට ලඟා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.