Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටී-කප් පාපැදි සවාරිය දින නියමයක් නොමැතිව කල්යයි

ටී-කප් පාපැදි සවාරිය දින නියමයක් නොමැතිව කල්යයි

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 20-21-22 යන දිනවලදී පාසිකුඩා සිට මීගමුව දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබූ  ටී-කප්  පාපැදි සවාරිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ. කිලෝමීටර 350 ක දුරකින් යුත් මෙම පාපැදි සවාරිය ශ්‍රී ලංකාවේ නැගෙණහිර වෙරළේ සිට බටහිර වෙරළ තීරය දක්වා පැවැත්වීමට නියමිතය තිබිණ.

රටේ පතින වත්මන් අර්බුදකාරී දේශපාලන තත්ත්වය පහව යාමෙන් පසුව මෙම වසරට නියමිත ටී-කප් පාපැදි සවාරිය පැවැත්වීම පිළිබඳව යළි සළකා බැලීමටද තරග සංවිධායකයන් තීරණය කර තිබේ.

වසර 2017 දී ආරම්භ කළ ‘ටී-කප් ’ පාපැදි සවාරිය මෙම වසරේදීත් පැවැත්වීමට නොහැකි වන්නේ නම් එය පිට පිටම නොපැවැත්වෙන සිව් වැනි වතාව බවට පත් වනු ඇත. වසර 2018 දී අවසන් වරට එය පැවැත්වීමෙන් පසුව වසර 2019 දී පාස්කු ප්‍රහාරය හේතුවෙන්ද එතැන් සිට 2020 හා 2021 යන වසරවලදී උද්ගතවූ කොවිඩ් වසංගත තත්ත්වයන් හේතුවෙන්ද  ටී-කප් සවාරිය අත්හැර දමනු ලැබීය.

ටී-කප් පාපැදි සවාරියේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීප’ය ට පැවසුවේ මෙවර සවාරිය යොදා  ගත් දිනවලදී පැවැත්වීම සඳහා ගමන් මාර්ගය  පරීක්ෂාවට ලක් කර අනුමත කර තිබූ බවයි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස තවදුරටත් අන්තර් ජාතික පාපැදි සම්මේලනය පිළිගනු ලබන්නේ එන්. කරුණාරත්න මහතා වන බැවින් මෙවර සංවිධානය වන ටී.කප් පාපැදි සවාරියේ සැමරුම් කටයුතු බාරදී ඇත්තේද එන්. කරුණාරත්න මහතාටය.

ලංකා ‘ස්පෝට්රයිසන්’ ආයතනය ටී-කප් පාපැදි සවාරියේ  නිල අනුග්‍රාහකයායි. තරග අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ තිලක් වීරසිංහ මහතාය.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ අනුමත වාර්ෂික තරග දින දසුනට දකුණු ආසියාවෙන් ඇතුළත් කර තිබෙන එකම ජාත්‍යන්තර පාපැදි සවාරිය වන්නේද ටී-කප් පාපැදි සවාරියයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණින් වසර 2017 දී ආරම්භ කළ ටී-කප් පාපැදි සවාරියේ 2022 තරගය නිල  වශයෙන් කල් දැමීමට තීරණය වන විට ඒ සඳහා විදේශීය පාපැදි කණ්ඩායම් 12ක් හා දේශීය (ශ්‍රී ලංකා)  පාපැදි කණ්ඩායම් පහක්‍ සිය සහභාගිත්වය ලියාපදිංචි කර තිබුණි.

දින තුනක් පුරා පැවැත්වෙන ටී-කප් පාපැදි සවාරියේ ප්‍රවර්ධන කේතය වූයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළ කරා පාපැදියෙන් යන්නයි. සවාරියේ පළමු අදියර පාසිකුඩා සිට මහියංගනය දක්වා ද, දෙවැනි අදියර මහියංගනයේ සිට මහනුවර දක්වා ද, තෙවැනි  (අවසන්) අදියර මහනුවර සිට මීගමුව දක්වා ද පැවැත්වීමට නියමිතව තිබිණ. ටී-කප් පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර 350කි.  

 


අදහස් (0)

ටී-කප් පාපැදි සවාරිය දින නියමයක් නොමැතිව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.