Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තවමත් 19 වැනි වියේ පසුවන ඕස්ට්‍රේලියානු ජාතික ලාබාල ක්‍රීඩක ඩොමිනික් තියේම් වට 3-0 ක් ලෙස පරාජය කරමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඊයේ (7 වැනිදා) සමත් විය. ඒ අනුව සිය 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාව හඹායන ගමනේදී ඔහුට ඉතිරිව ඇත්තේ තවත් කඩයිම් තරග 3 ක් පමණි.
මෙවර තරගාවලියේදී තම ප්‍රතිවාදියා හමුවේ එක් වටයක් හෝ පරාජය නොවී සිටිමින් නඩාල් වාර්තා කළ සිවුවැනි ජයග්‍රහණය ලෙසද මෙය සටහන් විය. මූලික වටයේදී වට 3-0 ක් ලෙස ඕස්ට්‍රේලියාවේ ඇලෙක්සි පොපිරින් පරාජය කළ නඩාල්, දෙවැනි වටයේදී ප්‍රංශයේ රිචඩ් ගැස්කුයෙට් වට 3-0 කින්ද, තෙවැනි වටයේදී බ්‍රිතාන්‍යයේ කැමරන් නෝරි වට 3-0 ක ලෙස පරාජය කිරීමට සමත් විය.
සිවුවැනි වටයේදී ඩොමිනික් තියේම්ට එරෙහිව පැවැති තරගය වට 3-0 ක් ලෙස ජයගැනීමට නඩාල්ට හැකි වුවද, එහි පළමු වටයේදී ඔහුට ඉතා තියුණු සටනක් දීමට තියේම් සමත් විය. කෙසේ වුවත් ලකුණු 7-5 ක් ලෙස පළමු වටය ජයගත් නඩාල්, දෙවැනි සහ තෙවැනි වට ලකුණු 6-3 ක් සහ 6-0 ක් ලෙස ජයගනිමින් තම ගමන් මාර්ගය එළි පෙහෙළි කරගත්තේය. එපමණක් නොව පළමු වටයේදී තමාව වෙහෙසට පත් කළ යෞවනයාට අවසන් වටයේදී එක් ලකුණක් හෝ ලබා නොදීමටද නඩාල් වග බලාගත්තේය.
ඒ අනුව හෙට (9 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී නඩාල් ආර්ජන්ටිනාවේ ඩියේගෝ ෂ්වාට්ස්මන්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ෂ්වාට්ස්මන්, ඉතා තියුණු තරගයකින් පසුව ජර්මනියේ ලෙනාඩ් ස්ටෆ් වට 3-0 ක් (7/6, 6/4, 7/5) ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මේ අතර මෙවර තරගාවලියේදී නඩාල්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්ව සිටින සර්බියාවේ නොවැක් ජොකොවික්ද ඊයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ සිවුවැනි වටයේදී අතිශය තියුණු තරගයකින් අනතුරුව වට 3-2 ක් ලෙස ඉතාලියේ ලොරෙන්සෝ මුසේටි පරාජය කරමිනි. හෙට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ඔහු ඉතාලියේ මැටියෝ බෙරටිනිට එරෙහිව තරග වැදීමට නියමිතය.
කෙසේ වුවත් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 76 වැනි ස්ථානයේ පසුවන 19 හැවිරිදි මුසේටි, ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ජොකොවික්ට එරෙහිව එම තරගයේදී තරග වැදුණ ආකාරය බොහෝ ක්‍රීඩා විචාරයකයන්ගේ පැසසුමට ලක්විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු වට දෙකේදීම (සම ලකුණු බෙදීමේ වට 2 කින් පසුව) ලකුණු 7-6 ක් සහ 7-6 ක් ලෙස ජය වාර්තා කිරීමටය මුසේටි සමත් විය.
තම අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් තෙවැනි වටයේදී යළිත් තරගයට අවතීර්ණ වූ ජොකොවික්, ලකුණු 6-1 ක් ලෙස එම වටය ජය ගැනීමට සමත් විය. තම ප්‍රතිවාදී යෞවනයාට එක් ලකුණක් හෝ ලබා නොදෙමින් ලකුණු 6-0 ක් ලෙස සිවුවැනි වටය ජයගත් ජොකොවික්, වට 2-2 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළේය. පස්වැනි වටයේදී ලකුණු 4-0 ක් ලෙස ජොකොවික් ඉදිරියෙන් සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් මුසේටි තරගයෙන් ඉවත් වීම නිසා තරගයේ ජය වට 3-2 ක් ලෙස ජොකොවික්ට හිමිවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.