Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බාබරා - ඇනස්ටේෂියා කාන්තා අවසන් සටනට

බාබරා - ඇනස්ටේෂියා කාන්තා අවසන් සටනට

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් හිදී පැවැත්වෙන 2021 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙක් ජනරජයේ බාබරා ක්‍රේසිකෝවා සහ රුසියාවේ ඇනස්ටේෂියා පව්ලියුචෙන්කෝවා  සමත් වූහ.

බාබරා මෙන්ම ඇන‍ස්ටේෂියාද සිය ක්‍රීඩා දිවියන් තුළ මේ දක්වා  ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. ‍දෙදෙනා අතර පැවැ‍ත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.00 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් (7/5, 4/6, 9/7) ලෙස ග්‍රීසියේ මාරියා සකාරි පරාජය කරමින් බාබරා අවසන් මහ තරගයට පිවිසියාය‍. ඇනස්ටේෂියා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (7/5, 6/3) ලෙස ස්ලොවේනියාවේ තමාරා සිඩාන්සෙක් පරාජය කරමිනි.

මේ වන විට 25 වැනි වියේ පසුවන බාබරා ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවෙයි. 29 වැනි වියේ පසුවන ඇනස්ටේෂියා ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේද රැදී සිටී. අවසන් පූර්ව වටයේදී ඔවුන් දෙදෙනා හමුවේ පරාජයට පත් වූ මාරියා සහ තමාරා පිළිවෙලින්‍ ශ්‍රේණිගත කිරීම්හි 18 වැනි සහ 85 වැනි ස්ථානවල පසුවූහ.

ඉකුත් වසරේදී (2020) සහ මෙම වසරේදී (2021) ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ දෙවැනි වටය දක්වා පැමිණි බාබරා, මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියකදී දක්වා තිබූ ඉහළම දක්ෂතාව එය විය.

කේවල තරගවලදී එතරම් සාර්ථකත්වයක් නොදැක්වුවද යුගල තරගවලදී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති බාබරා, මේ දක්වා ප්‍රංශ (2018) සහ විම්බල්ඩන් (2018) කාන්තා යුගල ශූරතා 2 කටද, ඕස්ට්‍රේලියානු (2019, 2020, 2021) මිශ්‍ර යුගල ශූරතා 3 කටද හිමිකම් කියන්නීය. මේ වන විට‍ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වලට අනුව කාන්තා යුගල තරග ශ්‍රේණිගතකිරීම් අතරේ පෙරමුණේ රැදී සිටින්නේද බාබරා සහ කැත්‍රිනා සිනියකෝවාය.

මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේදී කාන්තා කේවල ශූරතාවට අමතරව කාන්තා යුගළ ශූරතාවද හඹායමින් සිටින බාබරා සිය සහයිකාව වන කැත්‍රිනා සමග අද (11 වැනිදා) යුගල ඉසව්වේ අවසන් පූර්ව තරගයකට සහභාගි වීමට සූදානමින් සිටින්නීය. මෙම තරගාවලියේ මිශ්‍ර යුගල ඉසව්වට සහභාගි වූ ඇය, එහි අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූවාය.

කේවල මෙන්ම ‍යුගල ඉසව්වලදීද එකසේ දස්කම් දක්වා ඇති ඇනස්ටේෂියා, මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලීන්හිදී කේවල ඉසව්වල අර්ධ අවසන් පූර්ව වටය දක්වා අවස්ථා 5 කදීද, යුගල ඉසව්වල අර්ධ අවසන් පූර්ව වටය දක්වා අවස්ථා 6 කදීද පැමිණ ඇත.

2017, 2019 සහ 2020 යන වසරවල පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලීන්හිදී කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ඇය, 2016 වසරේදී විම්බල්ඩන් ශූරතාවලියේද, 2011 වසරේ ඇමරිකානු විවෘත ශූරතාවලියේද අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියාය.

අවස්ථා 2 කදී බැගින් ඇමරිකානු විවෘත ශූරතාවලියේදී (2015, 2018) සහ ප්‍රංශ විවෘත ශූරතාවලියේදී (2013, 2021) කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇති ඇනස්ටේෂියා, 2014 වසරේදී විම්බල්ඩන් ශූරතාවලියේද, 2013 වසරේ ඕස්ට්‍රේලියානු ශූරතාවලියේද කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියාය.


-036


අදහස් (0)

බාබරා - ඇනස්ටේෂියා කාන්තා අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.