Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාකාරිත්වයක් නොපෙන්වීම හා ක්‍රීඩා අමාතංශයේ ලිඛිත දැන්වීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් ලේඛනයේ ලියාපදිංචි ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් (බාල්නැටුම්) සම්මේලනය අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම ජාතික ක්‍රීඩා සංගමය වසර 2016 මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමත් සමග ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩා ඉසව්වක් ලෙස ‘බෝල්රූම් ඩාන්සර්ස්’ හෙවත් ‘බාල් නැටුම්’ නර්තනය පිළිගෙන තිබේ.
ශ්‍රී ලංකා රජය පිළිගත් ජාතික ක්‍රීඩා සංගමයක් තහවුරු කිරීමේ දී මෙන්ම අලවංගු කිරීමේ දී ද එය ගැසට් නිවේදනයක් මගින් සිදුකළ යුතු බැවින් ‘බාල් නැටුම්’ සම්මේලනය අවලංගු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මේ වනවිට සූදානමින් සිටින බව ද වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යාංශය මෑතක දී නිකුත් කළ ජාතික ක්‍රීඩා සංගම් නිල ලේඛනයට අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ගණන 70කි. ‘බාල් නැටුම්’ සම්මේලනයේ ලියාපදිංචිය අහෝසි කිරීමත් සමඟ එය 69කට අඩුවනු ඇත. ඒ අතර ‘ටෙක්බෝල් ’ (TEQ BALL) නමැති නවතම ක්‍රීඩා ඉසව්වක් ලියාපදිංචි කිරීම සඳහා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයට අයදුම්පතක් ඉදිරිපත් වී ඇතැයි ද වාර්තාවේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ලේඛනයට අනුව ශ්‍රී ලංකා බාල් නැටුම් සම්මේලනය ගැන දැක්වෙන්නේ ‘ක්‍රියාකාරී නැත. අවලංගු කිරීම සඳහා කටයුතු යොදා ඇත’යි යනුවෙනි.
බාල් නැටුම් සම්මේලනය එක් අවස්ථාවක දී පමණක් දේශීය නර්තන තරගාවලියක් සංවිධානය කළ බව වාර්තා වී තිබුණත් එයින් පසුව එහි කිසිදු ක්‍රියාකාරීත්වයක් පෙන්වා නැතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. එහි නිල විධායක සභාවක් පිළිබඳව පැහැදිලි සඳහනක් දැනගන්නට නොමැති බවත් එම සම්මේලනය වෙත යොමුකරන ලිපි තැපෑලෙන් ආපසු හරවා එවන බවත් එහිදී වැඩිදුරටත් වාර්තාවේ.
බාල් නැටුම් හෙවත් ‘බෝල්රූම් ඩාන්සර්ස්’ ලෙසින් ප්‍රචලිත මෙම නර්තනය බටහිර යුරෝපයේ වඩාත් තියුණු තරගාකාරිත්වයක් උසුලන්නකි. එසේ වුවත් එය ක්‍රීඩා ඉසව්වක් ද යන්න පිළිබඳව ලොව පුරා විවාදයට තුඩු දී තිබේ.
ලෝක නර්තන සම්මේලනය යටතේ ලොව පුරා බාල් නැටුම් නර්තන තරග සංවිධානය කෙරේ. 1973 අංක 25 දරන ජාතික ක්‍රීඩා පනතේ 29 වැනි වගන්තිය යටතේ සඳහන් කරුණු සම්පූර්ණ කරන සංවිධානයක් ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමත් සමග එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරේ. ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම සඳහා ගත යුතු නීත්‍යානුකූල නියමයන් 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග වශයෙන් ජාතික ක්‍රීඩා පනතේ අර්ථකථනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වන ජාතික ක්‍රීඩා සංගම් වල ක්‍රියාකාරිත්වය විමසීම සඳහා ඉදිරියේ දී ක්‍රීඩා අමාත්‍යාංශය පාර්ලිමේන්තුව හරහා අලුත් විධිවිධාන හා රෙගුලාසි කීපයක් සම්මත කර ගැනීමට සූදානම් වන බව ද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා පැවසුවේ ජාතික ක්‍රීඩා සංගම් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බවයි. ඒ යටතේ ඉදිරියේ දී ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීමේ දී තාවකාලික පරිවාස කාලයකට යටත් කිරීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක පවතින්නේ නම් පමණක් අනතුරුව ලියාපදිංචිය සහතික කිරීමට පියවර ගනු ඇතැයි ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.
අවසන් වරට ශ්‍රී ලංකා ඊ ස්පෝට්ස් (විද්‍යුත් ක්‍රීඩා) සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබේ. මෙම වසරේ අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් ගණන 24කි.
වසර 2016 ඔක්තෝබර් 27 වැනිදා නිකුත් කර තිබූ රජයේ ගැසට් පත්‍රයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබූ නිල ක්‍රීඩා ඉසව් ගණන හා ජාතික ක්‍රීඩා සංගම් ගණන 61ක් පමණ විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.