Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධුරය ඇතුළු තනතුරු තුනකට නාමයෝජනා ඉදිරිපත් කළ මොහාන් ද සිල්වා සහ උප සභාපති ධුරය ඇතුළු තනතුරු තුනකට නාමයෝජනා ඉදිරිපත් කළ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී චූලාලන්ද පෙරේරා මහතා අද (08) නිවේදනය කළේය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල අභියාචනා කමිටුවට ඉදිරිපත් වූ විරෝධතා පිළිබඳව සළකා බැලීමෙන් පසුව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.
එම කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට පසුගිය බදාදා (6 වැනිදා) කමිටු වාර්තාව බාරදුන් අතර එහි මොහාන් සහ රවීන් යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා එය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ඊයේ නිලවශයෙන් දැනුම්දී තිබුණි.
නාමයෝජනා ඉදිරිපත් කළ හය දෙනකුට එරෙහිව අභියාචනා කමිටුවට විරෝධතා ඉදිරිපත්ව තිබූ අතර ඉන් ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ට නිලවරණයට ඉදිරිපත් වීමට අනුමැතිය හිමිවූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා මෙවර නිලවරණයට සභාපති, උප සභාපති සහ ලේකම් යන තනතුරු තුනට ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප ලේකම්වරයකු වන රවීන් වික්‍රමරත්න මහතා උප සභාපති, භාණ්ඩාගාරික සහ උප ලේකම් යන තනතුරු තුනට ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.
මොහාන් සහ රවීන් යන මහත්වරු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී 2005 වසරේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයක් ඔස්සේ විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතුව බව වාර්තා වේ.
මොහාන් සහ රවීන් යන මහත්වරු ‘සුමතිපාල’ පාර්ශවය නියෝජනය කරති. මෙම තත්ත්වය හමුවේ එම පාර්ශවයට උප සභාපති ධූර දෙකට තරග කිරීමට කිසිඳු අපේක්‍ෂකයකු නොමැති තත්ත්වයක් උද්ගත වී තිබේ.
එම පාර්ශවයෙන් සභාපති ධූරයට මොහාන් ද සිල්වා සහ ශම්මි සිල්වා යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර උප සභාපති ධූරයට මොහාන්, ශම්මි සහ රවීන් යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි. මෙම තත්ත්වය හමුවේ ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට ඉදිරිපත් වුවහොත් ‘රණතුංග’ පාර්ශවයට උප සභාපති ධූර දෙක නිතරගයෙන් හිමිවේ.
රවීන් වික්‍රමරත්න මහතා ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසුවේ මෙම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.