Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රිට ගෙනියන්න බැරිවීමේ කතාව ප්‍රබන්ධයක්

රිට ගෙනියන්න බැරිවීමේ කතාව ප්‍රබන්ධයක්

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ටෂ්කන්ට් නුවරදී පැවැති ආසියානු යොවුන් තරගාවලියට පිටත්ව යාමේදී ශ්‍රී ලංකා රිටි පැනීමේ ක්‍රීඩකයාට කටුනායක ගුවන් තොටුපොළේදී සිය රිට අත්හැරදමා යාමට සිදුවීමේ කතා පුවත ප්‍රබන්ධයක් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.  කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසුවේ කතා පුවතට පදනම් වූ රිටක් කටුනායක ගුවන්තොටුපොලෙන් රැගෙන යාමට  මෙම ක්‍රීඩකයා උත්සාහ නොගත් බවයි.

“මෙය ප්‍රබන්ධයක් විතරයි“

“මේ ක්‍රීඩකයා මේ කියන ආකාරයේ රිටක් කටුනායක ගුවන් තොටුපොළට අරන් ඇවිත් තිබ්බේ නෑ. එහෙමනම් කොහොමද ඔය කියන රිට කටුනායක ගුවන් තොටේ ගෙවීම් කරන්න බැරිව දාලා ගියා කියන්නේ? මෙවැනි කට කතා ගෙතීම් ක්‍රීඩාව පවත්වාගෙන යන්න බාධාවක් වෙන බවයි අපට හිතෙන්නේ“

“ක්‍රීඩා අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා මේ සිද්ධියේදී රිට ටෂ්කන්ට් රැගෙන යන්න රුපියල් ලක්ෂ තුනක් ගෙවීම් ගුවන් තොටුපොළ බලධාරීන් ඉල්ලුවා කියලා. මම නැවතත් කියන්නේ ගුවන් තොටුපොළට අරන් ආපු නැති රිටකට එවැනි ගෙවීමක් ඉල්ලුවා කියලා ක්‍රීඩා අමාත්‍යාංශය එවැනි නිවේදනයක්  නිකුත් කළේ  කුමන පදනමකින්ද යන්න කියන්න අපි දන්නේ නෑ..“

“මේ ගැන කතා හදපු අතැම් මාධ්‍යයත් මේ කියන ආසියානු යොවුන් තරගාවලිය පැවැත් වුණේ කසකස්ථානයේ කියලත් පුවත් වාර්තා කරලා තිබ්බා. එයින් පැහැදිලි වන්නේ ඒ තහවුරු නොකළ මාධ්‍ය වාර්තා කළ අය මේ තරගාවලිය පවත්වපු තැනවත් හරියට දැනගෙන හිටියේ නෑ. ඔවුන් එහෙම නම් ඔය කතා කරලා තියෙන්නේ මලල ක්‍රීඩා ආයතනය නොදැන සිටි තරගාවලියක් ගැනවිය යුතුයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ටෂ්කන්ට්  ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ධුරය දැරූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උපසභාපතිවරයෙකු වන චන්දන ඒකනායක මහතා මෙසේ පැවැසීය.

“ඔය කියන ආකාරයේ කිසිම ගැටලුවක් පැනනැගුණේ නෑ“

“අපි ටෂ්කන්ට් තරග සංවිධායකයන් කලින් දැනුවත් කරලා ශ්‍රී ලංකා රිටි පැනීමේ ක්‍රීඩකයා පාවිච්චියට ගන්නා ඒ සමාන රිටක් තරග වැදීමේදී ඔහුට ලබා දුන්නා. එය කෙතරම් සාර්ථක වුණාද කිව්වොත් ඔහු මෙතෙක් ඔහුගේ ඉසව්වේ හොඳම දක්ෂතාවය දක්වමින් රිදී පදක්කමක් දිනා ගන්නත් ටෂ්කන්ට් නුවරදී සමත්වුණා.“

“රිටක් නැතිව, පුහුණුකරුත් නැතිව පදක්කමක් දිනුවා කියලා සමහරු කියන්න උනන්දු වුණාට පිටරට තරග සංචාරයකට යන හැම ක්‍රීඩකයෙකුගේම පෞද්ගලික පුහුණුකරු රැගෙන යන්න වත්කමක් මලල ක්‍රීඩා ආයතනයට නෑ. මේ තරග සංචාරවලට අනුග්‍රාහකයෝ නෑ. ටෂ්කන්ට්  සංචාරයට වියදම් සොයා ගන්න අපට ලොකු සටනක් කරන්න වුණා“ යයි ද චන්දන ඒකනායක මහතා පැවසීය.

ටෂ්කන්ට් නුවරදී ඉකුත්දා නිමාවට පත්වූ පස්වැනි ආසියානු යොවුන් (වයස 18 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේදී මීගමුව මරිස්ටෙලා විදුහලේ තුෂේන් සිල්වා රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් මීටර් 4.70 දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමත් දිනාගත්තේය.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් හා ලේකඩ පදක්කම් දෙක බැගින් දිනා ගත්තේය.

 

ටෂ්කන්ට් ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරග සංචාරයේ කළමනාකරු වාර්තාව චන්දන ඒකනායක මහතා විසින් ශ්‍රී ලංකා මලලක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට බාරදුන් අයුරු. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වැඩ බලන ලේකම් පාලිත ජයතිලක, භාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.


අදහස් (0)

රිට ගෙනියන්න බැරිවීමේ කතාව ප්‍රබන්ධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.