Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලංකාවේ බේස්බෝල් ජනප්‍රිය කරවීමට උපකාර කරනවා

ලංකාවේ බේස්බෝල් ජනප්‍රිය කරවීමට උපකාර කරනවා

editorial - 2021 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පවතින බවත්, එය තවදුරටත් ප්‍රචලිත කිරීමට හැකි සෑම උපකාරයක්ම ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායක මහතා පැවසීය.

බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාව හා ජපානය නියෝජනය කිරීමට අවසර ඇති ජපානයේ සිටින එකම තැනැත්තා වන විජයනායක මහතා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බේස්බෝල් සහා සොෆ්ට්බෝල් ක්‍රීඩාවන්හි තාක්‍ෂණික මෙහෙයුම් කළමණාකරු ලෙසද කටයුතු කළේය.

ඔලිම්පික් උළෙල හේතුවෙන් භාරදූර වගකීම් රැසක් ඉටුකරමින් සිටියදී අප හා සම්බන්ධ වූ විජයනායක මහතා, ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්,

පළමුව තාක්‍ෂණ මට්ටම වැඩිකළ යුතුයි. ක්‍රීඩාව කුඩා වයසේදීම ආරම්භ කළ යුතු වගේම, අත්දැකීම් ලබාගැනීම සඳහා වැඩි වශයෙන් තරග සඳහා ඉදිරිපත් කළ යුතුයි. ඒ දේවල් ලංකාව තුළ තවම සිදුවන්නේ ඉතාම අඩුවෙන්. මට ඒ වෙනුවෙන් ජපානය හා සම්බන්ධවෙමින් ජාත්‍යන්තර අත්දැකීම ලබාදෙන්න පුළුවන්. විශේෂයෙන් ලෝක බේස්බෝල් සංගමය හා මා අතර තිබෙන සම්බන්ධය මේ කටයුතු සඳහා උපයෝගි කරගන්න පුළුවන්.

මම මේ වනවිට වසර 15ක් පමණ සිට ජපානයේ ජීවත් වෙනවා. මම ඉගෙනගත් දේ ලංකාවට දෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. අපි අපේ රටට ආදරය කළොත් තමයි අපිට කවදාහරි දවසක සතුටුවෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙනියන්න මම සෑම විටම මහන්සිවෙනවා.

මම ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩකයන් දෙදෙනෙකු මාස 10ක කාලයක් සඳහා ජපානයට ගෙනවිත් පුහුණුවක් දුන්නා. එයට අමතරව පාසල් හා ක්‍රීඩා සමාජයන්හි  පුහුණකරුවන්, විනිසුරුවරු ජපානයට ගෙනවිත් පුහුණුවීම් ලබා දී තිබෙනවා. ඒ වගේම ජපන් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට ගිහිල්ලා පුහුණු වැඩමුළු පවත්වා තිබෙනවා. අවස්ථා ගණනාවකදී ක්‍රීඩා භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාංගණය හඳන අවස්තාවේදී ජපානයෙන් තමයි මුදල් පරිත්‍යාග කළේ. මම එහි කාර්ය කටයුතු සම්බන්ධීකරණය කළා. ඉන් පසු බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය එහි පැවැත්වීමට අපට හැකියාව ලැබුණා“ යැයි ඔහු පැවසීය.

කොළඹ මහානාම විදුහලෙන් මූලික අධ්‍යපනය ලැබූ විජයනායක මහතා, 1999 වසරේදී කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් විය. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මහානාම විදුහලෙන් පැමිණි විජයනායක මහතාගේ හැරවුම් ලක්‍ෂය ආනන්දය වූ අතර, එහිදී ඔහු බේස්බෝල් ක්‍රීඩාවට යොමුවිය. 2002 වසරේදී ඔහුට බේස්බෝල් ජාතික පුහුණු සංචිතය නියෝජනය කිරීමට වාසනාව ලැබිණ.

විජයනායක මහතා 2006 වසරේදී උසස් අධ්‍යාපනය සඳහා ජපානයේ විශ්වවිද්‍යාලකට ඇතුළත් වූ අතර, බේස්බෝල් ක්‍රීඩාවේ මහගෙදරක් බඳු වූ ජපානයේදී ඔහු ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ දැනුම තව දුරටත් වර්ධනය කරගත්තේය. ඒ අනුව 2007 වසරේදී ජපානයේ බේස්බෝල් විනිසුරුකරුවන්ගේ පාසලට ඇතුළත් වූ අතර, එහිදී ඔහුට විනිසුරුවරයෙකු කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍රය ලබාගැනීමට හැකිවිය.

වැඩිකල් නොගොස් 2008 වසරේදී ඔහුට ජපානයේ බේස්බෝල් විනිසුරුකරුවෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වූ අතර, වසර 08 ක අත්දැකීමකින් පසු එනම්, 2016 වසරේදී අන්තර්ජාතික විනිසුරු පදවිය ලබාගැනීමට හැකිවිය. එමෙන්ම ඔහුට ශ්‍රී ලංකාවේද බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට බලය ඇති අතර, 50,000 කට  වැඩි ජපාන බේස්බෝල් විනිසුරන් අතර රටවල් දෙකක සේවය කිරීමට හැකියාව ඇති එකම අවසරලත් පුද්ගලයා ඔහු වෙයි.

විජයනායක මහතා මේ වනවිට ජාත්‍යන්තර තාක්‍ෂණික නිලධාරියෙකු ලෙස ආසියානු හා ලෝක බේස්බෝල් සංගමයේ සේවය කරමින් සිටියි. විජයනායක මහතා, ආසියානු හා ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වී ඇති අතර, ඒ සෑම තැනකදීම ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව වීම ඔහුගේ විශේෂත්වයයි.

ජපානයේ සිට ශ්‍රී ලංකාවේ නාමය ලෝකයටම ගෙන යාමට වෙර දරණ සුජීව විජයනායක මහතා ඒ වෙනුවෙන් නිරතුරුවම දැඩි කැපවීමක් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ඔලිම්පික් උළෙලේ බේස්බෝල් තරග සඳහා යොදාගනු ලැබුවේද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ පන්දුවක් වන අතර, ඔලිම්පික් උළෙල සඳහාම පන්දු 15,000ක ඇණවුමක් ශ්‍රී ලංකාවට ලැබුණි.

මෙවර ඔලිම්පික් උළෙලේ බේස්බෝල් තරග සඳහා භාවිතා කළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක්. එය ශ්‍රී ලාංකිකයන් වන අපි සියලු දෙනාටම ලොකු ගෞරවයක්. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම පන්දුවට ලොකු ඉල්ලුමක් ජපානයේ තියෙනවා. මෙම පන්දුවෙන් තමයි ඔලිම්පික් උළෙලේ පළමු තරගයේ සිට රන් පදක්කම් තරගය දක්වාම ක්‍රීඩා කළේ. මෙම පන්දුව නිෂ්පාදනය කරන්නේ එස්.එස්.කේ. සමාගම, එය ජපානයේ එකක්. නමුත් එම පන්දු හදන්නේ ශ්‍රී ලංකාවේ ස්කයිලයින් ආයතනය.

2019 වසරේදී දකුණු කොරියාවේ පැවති අවුරුදු 19න් පහළ බේස්බෝල් ලෝක කුසලාන තරගාවලියට විනිසුරුවරයෙකු ලෙස මම සහභාගි වුණා, එහි භාවිතා කළෙත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම පන්දුවමයි යයිද විජයනායක මහතා අවසන් වශයෙන් පැවසීය.


අදහස් (0)

ලංකාවේ බේස්බෝල් ජනප්‍රිය කරවීමට උපකාර කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.