Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව 27 දා සිට පැරලිම්පික් පිටියේ

ශ්‍රී ලංකාව 27 දා සිට පැරලිම්පික් පිටියේ

editorial - 2021 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ජපානයේ ටෝකියෝ නුවරදී රටවල් හා ජාතීන් 163 ක සහභාගිත්වයෙන් අද  ආරම්භ වූ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිකුරාදා (27) සිට තරග වදිති.

ශ්‍රී ලංකාව පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට රුවල්ඔරු ඉසව්වක් සඳහා තරග වදින්නේද සිකුරාදාය. එම අවස්ථාව උදාකර ගෙන සිටින්නේ 34 හැවිරිදි මහේෂ් ප්‍රියමාල් ජයකොඩිය. ඔරු පැදීමේ, ඉනෙන් පහළ අප්‍රාණික කේවල ඉසව්වෙන් ඔහු තරග වදී.

වසර 2018 බල්ගේරියාවේදී පැවැති ලෝක ශූරතා තරගාවලිය මීට පෙර නියෝජනය කර තිබෙන ප්‍රියමාල් එහිදී 17 වැනි ස්ථානයට පත් වෙමින් මෙවර පැරාලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගත්තේය‍. ඔහු එම ඉසව්වේ මූලික වටයට ප්‍රවේශ වන්නේ සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.10 ටය.

සිකුරාදා තරග වදින අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ රෝද පුටු ටෙනිස් (පිරිමි) ඉසව්වෙන් තරග වදින සුරේෂ් ධර්මසේනයි. 32 හැවිරිදි ඔහු පැරා ආසියානු ක්‍රීඩා උළෙලේ යුගල (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් අයෙකි.  මෙම 32 හැවිරිදි ක්‍රීඩකයා තරග වැදීම සඳහා සිකුරාදා ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු ශ්‍රී ලංකාවේ වේලාව පෙරවරු 11 වේ.

දුන්නෙන් විදීම (රෝද පුටු - කේවල පිරිමි - පාද ආබාධ හෝ සමතුලිතතාව රහිත) කාණ්ඩයේ මූලික වටය සඳහා සම්පත් බණ්ඩාර එදින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 සිට තරග වැදීම අරඹයි. 32 හැවිරිදි සම්පත් බණ්ඩාර අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙකි.

ඔහු පසුගිය රියෝ පැරාලිම්පික් උළෙලේදීත් ශ්‍රී ලංකාව  නියෝජනය කළ, ලෝක ශූරතා තරගාවලි දෙකකටද තරග වැදුණු ශ්‍රී ලාංකිකයෙකි. ජකර්තා නුවරදී පැවැති 2018  පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු 9 වැනි ස්ථානය දිනාගත්තේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි වෙයි.  එය දකුණු ආසියාවේ දෙවැනි විශාලතම කණ්ඩායම ලෙස සැලකිය හැකිය. ඒ සමගම පරිවාර නිලධාරීන් 9 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ද පැරලිම්පික් උළෙලට එක්ව සිටී.

ඉන්දියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 54 දෙනකුගේ කණ්ඩායමක් මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගි කරවන අතර පාකිස්ථානය, මාලදිවයින, නේපාලයේ මෙවර සහභාගිත්වය එක් ක්‍රීඩකයකුට පමණක් සීමා වී තිබේ. භූතානය සහභාගි කර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන තුනකි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකුම මලල ක්‍රීඩා ඉසව් වලින් තරග කරති. ඉන් තිදෙනකුම හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් තේරී සිටිති.

රියෝ පැරලිම්පික් උළෙලේදී (2016) ලෝකඩ පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙවරත් පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටී.  මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද වන ඔහු රියෝ උළෙලේදී දිනාගත්තේ ශ්‍රී ලංකාවේ දෙවැනි පැරලිම්පික් පදක්කමයි.

ශ්‍රී ලංකාවට පළමු පැරලිම්පික් පදක්කම දිනා දුන්නේ වසර 2012 ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී මීටර 400 (පිරිමි) එක් අතක් අහිමි හෝ අප්‍රාණික ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ප්‍රදීප් සංජයයි. 1996 සිට මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇත්තේ පදක්කම් දෙකකි.

මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතා මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 107 ක් දිනා ගනිමින් ජයගත් චීනය (256), බ්‍රිතාන්‍ය ( 221) ඇමරිකාව (243), ජපානය (262), රුසියානු ඔලිම්පික් කමිටුව(247) සහ  බ්‍රසීලය(241) මෙවර පැරලිම්පික් උළෙල සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් ඉදිරිපත් කර සිටින රාජ්‍යයන් වෙති. ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ අනුග්‍රහය ඩයලොග් ආසියාටා සමාගම දරයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 27 දා සිට පැරලිම්පික් පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.