Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සංගම් 9 කට වරප්‍රසාද අත්හිටුවන්න යයි

සංගම් 9 කට වරප්‍රසාද අත්හිටුවන්න යයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පදනම් ආයතනයේ දී පැවැති ජාතික ක්‍රීඩා සමුළුවට ආරාධනා ලබා සිටි ජාතික ක්‍රීඩා සංගම් 66 ක් අතරින් ක්‍රීඩා සම්මේලන 9 සහභාගි නොවූහ. ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සංගම් සඳහා ප්‍රදානය කෙරන දීමනා, ගෙවීම් හා සෙසු වරප්‍රසාදවලින් ඉවත්කර තැබීමට යෝජනාවක් ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත්ව තිබේ.

ඇමැතිවරයාගේ කැඳවීම නොසලකා හැරීමේ චෝදනා ලබා සිටින ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ගනු ලබන පියවර සම්බන්ධයෙන් ‘ලංකාදීප’  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගෙන් විමසීමේදී ඔහු ඒ බව ස්ථිර කළේය.

දේශීය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා වන උපාය මාර්ග හඳුනා ගැනීමත් ඒවා බලගැන්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා මෙම සමුළුව කැඳවා තිබුණි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළුව ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ හා නොවන රාජ්‍ය ආයතන 11 ක නිලධාරින් ද ඇතුළුව ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරින් හතක් ද ජාතික තේරීම් කමිටුවේ නිලධාරින් 10 ක් හා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාද මෙම සමුළුවට සහභාගි වී සිටියහ.

එහිදී සමුළුව අවසානයේ දී ප්‍රකාශයට පත්වූ ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා වන 2019 කොළඹ ප්‍රකාශනයෙන් දේශීය ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා ප්‍රධාන කරුණු 25 ක් දක්වා තිබේ. ජාතික කණ්ඩායම් තේරීම් වඩාත් විනිවිදභාවයෙන් කිරීම, ජාතික තේරීම් සඳහා පොදු නිර්නායකයක් සකස් කිරීම, ජාතික ක්‍රීඩා සංගම් සඳහා අනුග්‍රහය හා අරමුදල් සැපයීම විෂයෙහි ක්‍රියාකාරිත්වය මත සිදුකිරීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට හා ක්‍රීඩා තාක්ෂණ නිලධාරින්ට රක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම, ඔවුන් වෙනුවෙන් ජාතික ක්‍රීඩා ගම්මානයක් ස්ථාපිත කිරීම, ජාතික ක්‍රීඩා විද්‍යායතනයන් ජාත්‍යන්තර විශ්විද්‍යාලයක තත්ත්වයට පත් කිරීම, එහි ඩිප්ලෝමා හා උපාධි ලබන්නන්ට රජයේ රැකියා අවස්ථා සලසා දීම, ශ්‍රී ලංකාවට ආවේණික සම්ප්‍රදායික ක්‍රීඩා ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වාර්ෂික ක්‍රීඩා උළෙලක් පැවැත්වීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුකරුවන්ට ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ බලතල ඉහළ නැංවීම, ක්‍රීඩා පුහුණුකරුවන් හා තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතනයක් ඇරඹීම හා සියලු පුරවැසියන්ට භාවිතා කළ හැකි පරිදි රටේ ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබඳව දැනුවත් කෙරෙන දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම යන කරුණු කෙරෙහි එම කොළඹ ප්‍රකාශනයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබුණි.

 


අදහස් (0)

සංගම් 9 කට වරප්‍රසාද අත්හිටුවන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.