Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනාට ප්‍රංශයේදී ‍‍ඓතිහාසික ජයක්

සෙරීනාට ප්‍රංශයේදී ‍‍ඓතිහාසික ජයක්

editorial - 2021 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



එදා මෙදා තුර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ පැවැති පළමු රාත්‍රී තරගය ජය ගැනීමට ඇමරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ (31 වැනිදා) සමත් වූවාය. ඒ වට 2-0 කින් (7/6, 6/2) රුමේනියාවේ කැමීලියා බේගු පරාජයට පත් කරමිනි.

ඒ අනුව හෙට (2 වැනිදා) පැවැත්වෙන දෙවැනි වටයේ තරගයේදී ඇය රුමේනියාවේ මිහීලා බුන්සනෙස්කුට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි අනුකරණය කරමින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සංවිධායකයන්ද මෙවර සිය තරගාවලියට රාත්‍රී තරග එක් කිරීමට පියවර ගෙන ඇත. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් පැරිස් නුවරට රාත්‍රී 9 න් පසු ඇඳිරි නීතිය පැනවීම නිසා සෙරීනාට මෙම ‍එ‍ෛතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීමට‍ සිදුවූයේ ප්‍රේක්ෂකයන් නොමැති වූ ක්‍රීඩංගණයකදීය.

වරෙක පළමු තරගය ලකුණු 5-2 ක් ලෙස පෙරමුණ ගැනීමට සෙරීනාට අවස්ථාව තිබුණද, සම ලකුණු බිඳීමේ වටයක් ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා ඇයට එම අවස්ථාව අහිමී විය. ඉන් නිසි ඵල නෙලාගත් කැමීලියා ලකුණු 6-4 ක් ලෙස සෙරීනා පසුකර ඉදිරියට පැමිණියාය. කෙසේ වුවත් යළිත් තරගයට අවතීර්ණ වූ සෙරීනා පිට පිටම ලකුණු 3 ක් ලබාගනිමින් 7-6 ක් ලෙස පළමු තරගය නිමා‍ කළාය.   

පළමු තරගයේදී තමා අතින් සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් දෙවැනි තරගයට පිවිසි සෙරීනා, ලකුණු 6-2 ක් ලෙස ඉතා පහසුවෙන්ම එම තරගයේදී කැමීලායා පරාජයට පත් කළාය. ඒ අනුව මෙවර තරගාවලියේදී මුහුණු දුන් පළමු අභියෝගය වට 2-0 කින් ජයගත් සෙරීනා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.

මේ දක්වා ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 7 ක්, විම්බල්ඩන් ශූරතා 7 ක්,  ඇමරිකානු විවෘත ශුරතා 6 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 කට හිමිකම් කියන සෙරීනා, එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභිනිය ලෙස ඕස්ට්‍රේලියාවේ මාගරට් කෝට් සමග සම තත්ත්වයට පත්වීමට තවත් එක් ශූරතාවක් අවශ්‍යව සිටින්නීය.

මව් පදවිය ලැබීම සඳහා තාවකාලිකව තරග බිමෙන් ඉවත් වීමට පෙර 2017 වසරේදී දිනාගත් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව සෙරීනා අවසන් වරට දිනාගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයි. ඉන් අනතුරුව ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි 4 ක අවසන් මහ තරගයන්හිදී පරාජයට පත් වූවාය.

මෙම වසර (2021) මුලදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී ඇයට අවසන් පූර්ව වටයෙන්ම ඉවත් වීමට වූවාය.

“රාත්‍රී තරගවලට මම එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් මට එහි හොඳ වාර්තාවක් තියෙනවා. රෝලන්ඩ් ගැරෝස්හිදී පළමු රාත්‍රී තරගය ක්‍රීඩ‍ා කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. එහිදී මම හුගක් විනෝද වුණා.” යැයි ‍ජයග්‍රහණයෙන් අනතුරුව සෙරීනා පැවසුවාය.


 

-036

 


අදහස් (0)

සෙරීනාට ප්‍රංශයේදී ‍‍ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.