Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වෙයි

සෙරීනා ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වෙයි

editorial - 2021 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව ඔලිම්පික් රන් පදක්කම් 4 කට හිමිකම් කියන ඇමරිකාවේ සෙරීනා විලියම්ස් පවසන්නීය.‍ මේ වන විට 39 වැනි වියේ පසුවන ඇය, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන අතර වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනාගත් ක්‍රීඩිකාවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නීය.

“ඇත්ත වශයෙන්ම මම ඔලිම්පික් ලැයිස්තුවේ නැහැ. එය මගේ පෞද්ගලික තීරණයක්‍. මගේ තීරණය මම ඔවුන් (ඇමරිකානු ඔලිම්පික් කමිටුව) සමග පැවසුවා. ඒ නිසා මම ඔවුන්ගේ ලැයිස්තුවේ නොසිටිය යුතුයි.” යැයි සෙරීනා ඊයේ  (27 වැනිදා) විම්බල්ඩන් ශූරතාවලියේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසුවාය.  

එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම සෙරීනාගෙන් ප්‍රශ්න කළ නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර කීමට ඇය කැමැත්තක් නොදැක්වූවාය. කෙසේ වුවත් ඇය ටෝකියෝ නුවර වෙත යෑමට අකමැති බව ඇඟවූයේ නවතම නීති රීතිවලට අනුව ඇගේ තුන් හැවිරිදි දියණිය වන ඔලිම්පියා එහි රැගෙන යෑමට නොහැකිවන බැවිනි.

2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේදී පළමු වරට ඔලිම්පික් වරම් හිමිකරගත් සෙරීනා, 2004 වසරේ පැවැති ඇතෑන්ස් ඔලිම්පික් උළෙල හැර ඉන් අනතුරුව පැවැති සෑම ඔලිම්පික් උළෙලකදීම සිය රට නියෝජනය කළාය. ඇයට ඇතෑන්ස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූයේද දණහිසේ ආබාධයක් හේතුවෙනි.

සිය සහෝදරිය වන වීනස් විලියම්ස් සමග එක්ව 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සහ 2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේදී කාන්තා යුගල රන් පදක්කම් දිනාගත් සෙරීනා, 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී කාන්තා කේවල රන් පදක්කම මෙන්ම කාන්තා යුගල රන් පදක්කමද තමන් සතු කරගත්තාය.

කෙසේ වුවත් 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සෙරීනා අසමත් වූවාය. එහිදී චෙක් ජනරජයේ ක්‍රීඩිකාවන් දෙපලක් හමුවේ පරාජය වීම හේතුවෙන් යුගල ඉසව්වේ පළමු වටයෙන්ම ඉවත් වීමට සෙරීනාට සහ ඇගේ සොහොයුරියට සිදුවූ අතර කේවල ඉසව්වේ තෙවැනි වටයේදී යුක්රේනයේ එලිනා ස්විටොලිනා හමුවේ සෙරීනා පරාජයට පත් වූවාය.

මේ දක්වා ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 7 ක්, විම්බල්ඩන් ශූරතා 7 ක්,  ඇමරිකානු විවෘත ශුරතා 6 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 කට හිමිකම් කියන සෙරීනා, එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභිනිය ලෙස ඕස්ට්‍රේලියාවේ මාගරෙට් කෝට් සමග සම තත්ත්වයට පත්වීමට තවත් එක් ශූරතාවක් පසුපසින් සිටින්නීය.

-036


අදහස් (0)

සෙරීනා ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.