Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ෆෙඩරර් අවසන් 16 දෙනා අතරට

ෆෙඩරර් අවසන් 16 දෙනා අතරට

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රිතාන්‍ය ක්‍රීඩක කැමරන් නෝරිට එරෙහිව ‍තරග වට 3-1 ක ජයක් වාර්තා කරමින් විම්බල්ඩන් ශූරතාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (අවසන් 16 දෙනා අතරට) සුදුසුකම් ලබාගැනීමට 8 වරක් විම්බල්ඩන් ශූරතාව දිනා සිටින ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඊයේ (3 වැනිදා) සමත් විය.

තෙවැනි වටයේ තරගයක් ලෙස පැවැති එම තරගයේ පළමු සහ දෙවැනි වට පිළිවෙලින් ලකුණු 6-4 ක් සහ 6-4 ක් ලෙස ජයගැනීමට ෆෙඩරර් සමත් වුවද, තියුණු සටනකින් පසුව ලකුණු 7-5 ක් ලෙස තෙවැනි වටය ජයගැනීමට ‍නෝරි සමත් වීමත් සමග තරගය තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

කෙසේ වුවත් සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් ලකුණු 6-4 ක් ලෙස සිවුවැනි වටය ජයගත් ‍ෆෙඩරර් සමස්ත තරගයේ ජය වට 3-1 ක් ලෙස තමන් සතුකර ගත්තේය. ඒ අනුව ඔහු හෙට (5 වැනිදා) පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ඉතාලියේ ලොරෙන්සෝ සොනෙගෝට එරෙහිව තරග බිමට පි‍විසෙනු ඇත.

මෙම ජයග්‍රහණයත් සමග ෆෙඩරර් කෙමෙන් කෙමෙන් සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට ලංවෙමින් සිටින අතර ඒ සඳහා ඔහුට ඇත්තේ තවත් අදියර 4 ක් පමණි. මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැකි වුවහොත් ෆෙඩරර්ට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ තනි අයිතිය හිමිකරගත හැකිවනු ඇත.

මේ වන විට ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් ජයගෙන ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස සර්බියාවේ රෆායල් නඩාල් සමග සම තත්ත්වයේ පසුවෙයි. මේ දක්වා ෆෙඩරර් ජයගෙන ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා ගොන්නට විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් ඇතුළත් වේ.  

රෆායල් නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි. කෙසේ වුවත් දීර්ඝ මැටි පිටි තරග වාරයකින් පසුව තමාට කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමින් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් විය‍.

ඒ අනුව මෙවර තරගාවලියේ ශූරතාව කරා යෑම සඳහා ෆෙඩරර්ට තිබූ විශාලතම බාධක දෙකෙන් එකක් ඉවත් වූ අතර ඔහු හමුවේ ඇති සෙසු බාධකය වනුයේ මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 19 ක් ජයගෙන සිටින සර්බියාවේ නොවැක් ජොකොවික්ය. ජොකොවික්ද ‍මේ වන විට විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා සිටියි.

ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් ජයගැනීමට ජෙ‍ාකො‍වික් සමත්ව ඇත්තේ මේ වසරේ (2021) පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ශූරතාව මෙන්ම ජූනි මාසයේදී පැවැති ප්‍රංශ විවෘත ශූරතාවද සමගිනි. අවසන් වරට පැවැති (2019) විම්බල්ඩන් තරගාවලියේ ශූරයා බවට පත්වූයේද ජොකොවික්ය.

-036

 


අදහස් (0)

ෆෙඩරර් අවසන් 16 දෙනා අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.