Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ෆෙඩරර් ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වෙයි‍

ෆෙඩරර් ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වෙයි‍

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්, ඊයේ (6 වැනිදා) මෙවර ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත්විය. තරගාවලියේ සිවුවැනි වටය දක්වා පැමිණි ඔහු, නැවත වරක් ආබාධයකට ගොදුරුවීමේ අවදානමින් ගැළවීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. ෆෙඩරර්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වාර්තාවකට හිමිකම් කියයි.

පෙරේදා (5 වැනිදා) තෙවැනි වටයේ තරගයකදී ජර්මනියේ ඩොමිනික් කූපර්ට එරෙහිව වට 3-1 ක (7-6, 6-7, 7-6, 7-5) තියුණු ජයක් වාර්තා කළ ෆෙඩරර්, අද (7 වැනිදා) සිවැවුනි වටයේදී ඉතාලියේ මැටියෝ බැරිටිනිට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියේය. මේ වන විට ෆෙඩරර් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ පසුවන අතර බැරිටිනි එහි 9 වැනි ස්ථානයේ රැඳී සිටියි.

කෙසේ වුවත් ඊයේ තරග සංවිධායකයන් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ෆෙඩරර් කියා සිටියේ දණහිසේ සැත්කම් දෙකකින් පසුව නැවත යථා තත්ත්වයට පැමිණෙමින් සිටි අවදියක තමා මෙවර ප්‍රංශ විවෘත තරගාවලියට සහභාගි වූ බවත්, එබැවින් ශරීරය අධික ලෙස වෙහෙසට පත් කිරීමට තමා අකමැති බවත්ය.

“ම‍ගේ කණ්ඩායමත් සමග කළ සාකච්ඡාවකින් පසුව මෙවර තරගාවලියෙන් ඉවත් වීමට අද මා තීරණය කළා. ඉතාමත් හොඳ තරග 3 ක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම හුඟක් සතුටට පත් වෙනවා. නැවතත් තරග බිමට පිවිසීමට ලැබීම තරම් සතුටත් මට තවත් නෑ. ඒත් දැන් මට මගේ ශරීරයට ඇහුම්කම් දෙන්න සිද්ධ වෙනවා.” යැයි 39 හැවිරිදි ෆෙඩරර් සිය ප්‍රකාශයේ සටහන් කර තිබිණ.

2009 වස‍රේදී ප්‍රංශ විවෘත ශූරතාව දිනාගත් ෆෙඩරර්, ඉකුත් වසරේදී දණහිසේ සැත්කම් දෙකකට මුහුණදුන් අතර මෙවර තරගාවලියට සහභාගි වීමට පෙර අවසන් මාස 16 ක් ඇතුළත ඔහු ක්‍රීඩා කර තිබුණේ තරග 3 ක් පමණි. ‍සිවැවනි වටයට පැමිණීමෙන් පසුව තරගාවලියෙන් ඉවත් වීම මගින් පෙනී යන්නේ ඔහු මේ මස 28 වැනි ආරම්භ වීමට නියමිත විම්බල්ඩන් ශූරතාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවය.

මේ වන විට විම්බල්ඩන් ශූරතා 8 කට හිමිකම් කියන ෆෙඩරර්, 2003 වසරේ සිට 2007 වසර දක්වා පිට පිටම වසර 5 කදී එම ශූරතාව දිනා ගැනීමටද සමත් විය. ඊට අමතරව ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක් සහ ඇමරිකානු විවෘත ශූරතා 5 ක්ද තමා සතු කර ගැනීමටද දීර්ඝ කාලයක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස කිරුළු දරා සිටි ෆෙඩරර් සමත්ව සිටියි.

කෙසේ වුවත් මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේ තෙවැනි වටයේදී ඩොමිනික් කූපර් පරාජය කිරීම සඳහා ෆෙඩරර්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. එම තරගය කෙතරම් තියුණු වූවා දැයි කිවහොත් ක්‍රී‍ඩා කළ වට 4 න් 3 කදීම ෆෙඩරර්ව සම ලකුණු බිඳීමේ වට කරා රැගෙන යෑමට කූපර් සමත් විය. ඉන් එක් වට‍යකදී ෆෙඩරර් පරාජය කිරීමටද සමත් වූ කූපර්, අවසන් වටයේදී ෆෙඩරර් හමුවේ පරායට පත්වූයේද ලකුණු 7-5 ක් ලෙසිනි.

 
-036


අදහස් (0)

ෆෙඩරර් ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වෙයි‍

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.