Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අපට චෝදනා ඉදිරිපත් කරලා නෑ - මොහාන්

අපට චෝදනා ඉදිරිපත් කරලා නෑ - මොහාන්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සහභාව 2005 වසරේ විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු කමිටුවට කිසිඳු චෝදනාවක් හෝ ඉදිරිපත් වී නොමැති බව සභාපති ධූරයට නාමයෝජනා ඉදිපත්කර තිබෙන මොහාන් ද සිල්වා මහතා අද (11) පැවසීය.

නාමයෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව කරුණු දැක්වීම වෙනුවෙන් ඊයේ පෙරවරුවේ කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මොහාන් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  

“අපි දන්නවා මේක ලොකු කුමන්ත්‍රණයක්. ඡන්දෙන් එන්න බැරි පිරිසක් හැමදාම පස්සෙ දොරෙන් එන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ”

“අපේ නාමයෝජනා ප්‍රතික්ෂේප කළ බව මේ දක්වා නිලවශයෙන් දැනුම් දී නෑ. අපිත් දැනගත්තේ පත්තරෙන්. අපේ ප්‍රතිවාදීන් මීට සතියකට පෙර සිට කියනවා ඔවුන් එන්නේ නිතරගයෙන් කියලා”

“ක්‍රීඩා ඇමතිවරයාගේ උපදේශකයෙක් කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අපේ ප්‍රතිවාදීන්ගේත් උපදේශකයා.

ඔහු තමයි මෙය පිටුපස ඉන්නේ. අපි මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ ද කිසිඳු පියවරක් ගත්තේ නෑ”
“ප්‍රතිවාදීන්ට විරුද්ධව ක්‍රීඩා ඇමතිවරයෙක් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් වන ‘රවී අල්ගම’ වාර්තාවෙන් චෝදනා එල්ල වී තිබෙනවා. ඒවා ගැන කිසිඳු සැළකීමක් නෑ”

“මෙහිදී මම නීතිමය පියවර ගැනීමේදී කරුණු තුනක් පිළිබඳව අවධානය යොමු කරනවා. පළමුවෙන්ම ක්‍රීඩාව වැටෙන්න නොදෙන්න වගබලා ගන්නවා. දෙවනුව මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් මගේ කීර්තිනාමයට ලොකු හානියක් වුණා ඒ පිළිබඳවත් කටයුතු කරනවා. ඒ වගේම කණ්ඩායම පිළිබඳවත් අවධානය යොමු කරනවා”
“අපේ රටේ අධිකරණය පිළිබඳව අපිට විශ්වාසයක් තියෙනවා. අධිකරණයේ තීරණ අපි පසුගිය කාලයේ දැක්කා. ඒ නිසා අපි අධිකරණයේ පිහිට පතනවා”

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට පාදක වූ 2005 වසරේ මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැරීමේ සිද්ධිය පිළිබඳම මොහාන් මහතා මෙසේ විස්තර කළේය.  

“ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය අනුව කටයුතු කරන පිළිවෙතක් තියෙනවා. එහෙම නොවුණොත් එන එන ක්‍රීඩා ඇමතිවරයාට ඉන්න කෙනාගේ මුහුණ හොඳ නැත්තන් අයින් කරන්න පුළුවන්නේ”

“ජීවන් කුරමාරතුංග ඇමතිවරයාගේ එම තීරණයට එරෙහිව අපි අධිකරණයේ නඩු පැවරුවා. එහිදී අධිකරණය නියෝගයක් දුන්නා අපිට දැනුම්දීමක් නොකර විසුරුවා හැරීම වැරදියි කියලා. ඉන් පසුව 2006 වසරේ ඒ ඇමතිවරයා සිටියදීම නිලවරණයක් කැඳවුවා. ඒ නිසා තමයි අපි ඒ නඩුව ඉවත්කරගත්තේ”

“නීතියට අනුව අපිට ක්‍රීඩා අමාත්‍යංහයේ ලේකම්ගෙන් දැනුම්දීමක් ලැබිය යුතුයි. නමුත් එහෙම දෙයක් වෙලා. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධීව සිදුවූ දෙයක්”

“අපිට පරීක්‍ෂණයක් කරලා නෑ. අඩුම තරමින් අපිට චෝදනාවක් හෝ බාරදී නෑ. අපේ රටේ නීතිය අනුව කිසියම් පුද්ගලයෙක් වැරදකරු වන තෙක් ඔහු නිර්දෝෂි පුද්ගලයෙක්”

චෝදනා එල්ල වන 2004 වසරේ රුපියල් මිලියන 321 ක පාඩුව පිළිබඳව මොහාන් මහතා මෙසේ පැහැදිළි කළේය.

“2004 වසරේ මා සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලේ රුපියල් මිලියන 321 ක පාඩුවක් වුණා කියලා චෝදනා කරනවා. නමුත් මෙහිදී මතක තියාගන්න ඕනේ ඒ කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් අපහසු කාලයක් කියන එක”

“ඒ පාඩුවට හේතුව අපේ දුර්වලතාවක් නොවෙයි. එම වසරේ අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වසර හතරක සාමාජික ගාස්තුව ලෙස රුපියල් මිලියන 293 ක් ගෙව්වා. දඹුල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 53 ක් ගෙව්වා. ශ්‍රී ලංකාවේ පළමු විස්සයි20 තරගය පැවැත්වූයේ ඔය කාලයේ තමයි ඒ සඳහා වියදම් වුණා. ඒ වගේම අන්තර් පළාත් තරගාවලියට වියදම් කළා”

“එහිදී පරිපාලන වියදම් වැඩි වෙලා තිබුණේ නෑ. 2003 වසරේ පරිපාලන වියදම් මිලියන 163 යි. ඔය කියන 2004 වසරේ පරිපාලන වියදම් 169 යි”

“රූපවාහිනී අයිතිය සම්බන්ධයෙන් ‘නිම්බස්’ ආයතනය ඩොලර් මිලියන හතක් ඉල්ලලා නඩු දාලා තිබුණා. ඒ වගේම අපිට ලැබිය යුතු සල්ලි හිරකරලා තිබුණා. මෙවැනි ප්‍රශ්න නිසා තමයි එම වසරේ පාඩුවක් ලැබුවේ”
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ උප ලේකම් ධූරයේ නාමයෝජනා ප්‍රතික්සේප වූ රවීන් වික්‍රමරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

“ක්‍රීඩා නීතියට අනුව අභියාචනා කමිටුවට පත්කළ හැක්කේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවකු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුයි. නමුත් මෙම අභියාචනා කමිටුවට විශ්‍රාමලත් විනිසුරුවන් දෙදෙනකු සහ රජයේ නිලධාරියකු ඇතුළත්ව සිටිනවා. අපි මේ පිළිබඳව අධිකරණ දැනුවත් කරනවා”
“අධිකරණ ක්‍රියාමාර්ගයෙන් නිලවරණය කල්යයි ද කියන එක අපිට කියන්න බෑ. ඒක අධිකරණයේ තීරණයක්. අපිට වෙලා තිබෙන අසාධාරණයට අපි කටයුතු කරනවා”

සුමතිපාල පාර්ශවයෙන් තනතුරු හතරකට නාමයෝජනා බාරදී සිටින ශම්මි සිල්වා මහතා එම මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය.

“මමත් ජයන්ත ධර්මදාස මහතාට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළා. නමුත් ඒවත් ඉවත දාලා. මෙහිදී සාධාරණය ඉටුවෙලා නෑ. ඒ පිළිබඳව මමත් අධිකරණයට යනවා”

2005 සිද්ධියට අපේ ප්‍රතික්ෂේප කළා නම් 2015 වසරේ වුණෙත් ඕකමයි. 2005 අරවින්ද ද සිල්වා උප සභාපති. ඔහුටත් ඉදිරියේ තරග කරන්න බෑ. 2015 කමිටුවේ සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් නිශාන්ත රණතුංග, උප ලේකම් හිරන්ත පෙරේරා. එසේ නම් ඔවුන්ගේ නාමයෝජනාත් ප්‍රතික්ෂේප වි යුතුයි”

මෙම මාධ්‍ය හමුවට ‘සුමතිපාල’ පාර්ශවයෙන් ලේකම් ධූරයට තරග කරන බන්දුල දිසානායක මහතා ද සහභාගි විය.  

 


අදහස් (0)

අපට චෝදනා ඉදිරිපත් කරලා නෑ - මොහාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.