Last Update  :  2025-03-29 21:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආරක්ෂක සේවා කබඩි සමාජ තහනම් කරයි

ආරක්ෂක සේවා කබඩි සමාජ තහනම් කරයි

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ත්‍රිවිධ හමුදා නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කාන්තා හා පිරිමි කබඩි පුහුණු සංචිත දෙකත් ඉවත් කර ගැනීමට ගත් තීරණයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා කබඩි සම්මේලනය වහාම ක්‍රියාත්මක  වන පරිදි යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවට අයත් කබඩි ක්‍රීඩා සමාජ තුන වෙත තාවකාලික තහනමක් පනවා තිබේ.

 මෙම සිදුවීම කබඩි  ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආරවුල් තත්ත්වයක් පැනනැගීමට හේතුවී තිබෙන අතර එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් නේවාසිකව පුහුණුවීම් ආරම්භ කළ ජාතික කබඩි පුහුණු සංචිත කඩාකප්පල් කිරීමට ගත් ප්‍රයත්නයක් යයි චෝදනා කරමින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතික කබඩි පුහුණු සංචිත බාරව සිටින ඉන්දීය පුහුණුකරු ඒ. බාස්කරන් මහතාද මෙම තත්ත්වය හමුවේ මේ වනවිට අපහසුතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

විශේෂ විධායක සභාවක් කැඳවමින් ත්‍රිවිඩ හමුදාවට අයත් කබඩි ක්‍රීඩා සමාජවලට පැනවූ තාවකාලික තහනම නිසා එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අගතියක් නොවන බව  කබඩි සම්මේලනයේ සභාපතිවරයා පැවසීය.

මෙම සිදුවීමට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන්නේ මෙවර පළමු වතාවට ක්‍රීඩා සමාජ ක්‍රමය බැහැර කරමින් දිස්ත්‍රික්ක කණ්ඩායම් පදනම් කර ගනිමින් ජාතික කබඩි ශූරතා තරගාවලිය පැවැත්වීමට කබඩි සම්මේලනය ගත් තීරණය බව වාර්තාවේ.

ත්‍රිවිධ හමුදා නියෝජනය කරන කබඩි ක්‍රීඩා සමාජ ජාතික තරගාවලිය පැවැත්වීමේ නව ක්‍රමයට එකඟතාවය පළකර ඇතත් එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් කණ්ඩායම් සඳහා මුදාහැර තිබේ. එහෙත් තරගාවලියට සහභාගි කර සිටියදී ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානීන් හා කබඩි සම්මේලනයේ ප්‍රධානීන්  අතර ඇතිවූ බව කියන මත ගැටුමක් හේතුවෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරමග තරගාවලියෙන් ඉවත්ව ගිය බව වාර්තාවේ.

කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේ ජාතික ශූරතා තරගාවලිය සඳහා වාර්තා කර සිටි  ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මේලනය දැනුවත් නොකරමින් ආපසු කැඳවීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත්තේ මධ්‍යම රාත්‍රියකදී බවයි.

මේ අතර ජාතික සංචිත හැරගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒ වෙනුවට අළුත් ක්‍රීඩිකාවන් කැඳවමින් නේවාසික පුහුණුවීම් නොපමාව ආරම්භ කරන බවයි.

මෙම අර්බුදය හමුවේ ඉකුත්දා ගුවන් හමුදා මූලස්තානයේ පැවැති මාධ්‍ය හමුවකදී ගුවන් හමුදාපති එයා වයිෂ් මාර්ෂල් සුදර්ශන පීරිස් මහතා කබඩි සම්මේලනයේ  සභාපතිවරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර සිටියේය. ජාතික තරගාවලිය දිස්ත්‍රික් පදනමින් පැවැත්වීමට ගත් තීරණයේදී ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  සහභාගිත්වය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මතුකර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් හමුදාපතිවරයාගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දැක්වූ කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසුවේ රටේ කබඩි ක්‍රීඩාව පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවට ඉඩ නොතබන බවත් තමන්ට සම්මේලනය තුළ වැඩ කිරීමේ වටපිටාවක් නොමැති නම් තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමට සූදානම් බවත්ය.

 


අදහස් (0)

ආරක්ෂක සේවා කබඩි සමාජ තහනම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.