Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

editorial - 2021 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ආසියානු චෙස් සම්මේලනය සංවිධානය විසින් හෙට (20 වැනිදා) මේ මස 30 වැනිදා දක්වා පවත්වනු ලබන ආසියානු මහද්වීපික චෙස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව්දෙනෙක් සහභාගී වීමට නියමිතය. රනිඳු දිල්ෂාන් ලියනගේ, මිනූල් සංජුල දොලුවීර, එල්.එම්.එස්.ටී. ද සිල්වා සහ තීක්ෂන් දෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ස්විස් ක්‍රමයට අනුව වට 9 කින් පවත්වනු ලබන මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් එයින්හි පිහිටි ආසියානු චෙස් සම්මේලන මූලස්ථානයෙන් මෙහෙයවනු ලැබේ. ඊට සහභාගී වන සියලු රටවල චෙස් කණ්ඩායම් අදාල රටෙහි ප්‍රධාන විනිසුරුවරයෙක් සහ සහායක විනිසුරුවරයෙක් සමග එකම ස්ථානයක සිට තරග වදිනු ඇත.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නුගෙගොඩ, ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේ සිට ක්‍රීඩා කරති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු දිල්ෂාන් ලියනගේ කටයුතු කරයි. මේ වසරේ (2021) පැවැති ශ්‍රී ලංකා ගොන් ප්‍රී චෙස් තරගාවලියද ඔහු ජයග්‍රහණය කලේය. ජාතික චෙස් ශූරයකු වන රනිඳු, මේ වසරේ ජූලි මාසයේදී රුසියාවේ පැවැත්වීමට නියමිත චෙස් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමටද සුදුසුකම් ලබා ඇත.

මෑත කාලයේදී කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහිවුණ හොඳම චෙස් ක්‍රීඩකයා ලෙස සැලකෙන මිනූල් සංජුල දොලුවීර, මේ වසරේ ජාතික චෙස් ශූරතාවලියේ රිදී පදක්කම මෙන්ම ශ්‍රී ලංකා ගෝන් ප්‍රී චෙස් තරගාවලියේ රිදී පදක්කමද දිනා ගත්තේය. ඔහු 2017 වසරේ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්.එම්.එස්.ටී. ද සිල්වා ශ්‍රී ලාංකික කණ්ඩායමේ ලාබාලම ක්‍රීඩකයා වන අතර මේ වන විට ඔහු 15 වැනි වියේ පසුවේ. මෙවර ජාතික චෙස් ශූරතාවලියේ ලෝකඩ පදක්කම් ලාභියා වූ ඔහු, 2020 ශ්‍රී ලංකා ගෝන් ප්‍රී චෙස් ශූරතාව සහ මෑතකදී අන්තර් ජාලය ඔස්සේ පැවැති ජාතික යොවුන් (අවුරුදු 18 ට අඩු) චෙස් ශූරතාවද දිනාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයා වන කොළඹ ආනන්ද විද්‍යාලයේ තීක්ෂන් දෙනුවන්, මෙවර ජාතික චෙස් ශූරතාවලියේ සිවුවැනි ස්ථානය මෙන්ම මේ වසරේ ශ්‍රී ලංකා ගෝන් ප්‍රී චෙස් තරගාවලියේදී ලෝකඩ පදක්කමද හිමිකර ගත්තේය.
    
මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 16 ක චෙස් ක්‍රීඩකයින් 80 දෙනෙකු සහභාගි වන අතර ආසියානු චෙස් සම්මේලනය විසින් ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් 16,000 ක මුදලක් ත්‍යාග ලෙස ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම තරගාවලියෙන් මුල් 8 දෙනා අතරට පැමිණෙන ක්‍රීඩකයන් මේ වසරේ ජූලි මස 15 වැනිදා සිට රුසියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන චෙස් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.

ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, චීනය, චීන තායිපේ, ඉන්දුනීසියාව, ඉරානය, කසකස්තානය, කුවේට්, කිර්ගිස්තානය, මැලේසියාව, මොන්ගෝලියාව, පිලිපීනය, සිංගප්පූරුව, තුර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය මෙම තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් වෙති.

කෙසේ වුවත් චෙස් ක්‍රීඩාවෙන් ආසියාවේ ශක්තිමත්ම රට වන ඉන්දියාව තුළ පවතින වර්තමාන තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගි කරවීමට‍ නොහැකි වී තිබේ.


අදහස් (0)

ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.