Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එක්සත් ජනපද තරගාවලියෙන් සෙරීනා ඉවත්වෙයි

එක්සත් ජනපද තරගාවලියෙන් සෙරීනා ඉවත්වෙයි

editorial - 2021 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට සෙරීනා විලියම්ස් තීරණය කර තිබේ. සිය 40 වැනි උපන්දිනයට මාසයක් මෙපිටින් සිටින සෙරීනා වසර තුනක සිටම ලෝක වාර්තාගත 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සොයමින් සටන්වැද සිටින්නීය. එසේ වුවත් දිගින් දිගටම ලද පරාජයන් සහ ආබාධ වලට ලක්වීම් නිසා ඇයගේ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව තවමත් අත පොවාගත නොහැකි දුරකින් තිබේ. 

සිය දකුණු පාදයේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් මෙවර එක්සත් ජනපද විවෘත තරගාවලියට ඉදිරිපත් නොවන බව සෙරීනා බදාදා (25 වැනිදා) ප්‍රකාශ කළාය. ඇය මෙම ආබාධයට මුහුණ දුන්නේ විම්බල්ඩන් තරගාවලියේ පළමු වටයේ තරගයකදීය.  

“මගේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව, කරුණු කාරණා ඉතාමත් පරෙස්සමෙන් සලකා බැලීමෙන් පසුව එක්සත් ජනපද විවෘත තරගාවලියෙන් ඉවත් වීමට මා තීරණය කළා” යයි සෙරීනා විලියම්ස් ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තබා තිබිණ. 

මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් දිනා සිටින විලියම්ස් මේ වන විට පසුපසින් සිටින්නේ මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 ට පමණි. සිය 24 වැනි ශූරතාව දිනාගැනීම සඳහා වසර 3 ක සිටම උත්සාහ කරමින් සිටින සෙරීනා මේ වන විට ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීමේ විය පසුකරමින් සිටින්නීය. අවසන් වරට 2018 දී ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය ජයගත් සෙරීනා, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් ලොව වයස්ගතම ක්‍රීඩිකාවද වන්නීය. ඒ වන විටත් ගැබිණියකව සිටි ඇය දැන් එක්දරු මවකි. 

‘ඔලිම්පියා’ නම් වූ සිය දියණියගේ උපත වෙනුවෙන් සෙරීනා වසරකට ආසන්න කාලයක් ටෙනිස් පිටියෙන් ඈත්ව සිටියාය. දරු උපතින් පසුව මාස එකහමාරක් ඇඳටම වී සිටි සෙරීනා, නැවතත් අන්තර්ජාතික ටෙනිස් පිටියට පිවිසෙමින් 2018 සහ 2019 වසර වලදී විම්බල්ඩන් අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගත්තාය. 

මව් පදවිය ලැබීමෙන් පසුව ඇයට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත නොහැකි විය. එහෙත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ඉතිහාසයේදී අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකාව වීමේ වාර්තාවද 2019 දී ඇය හිමිකර ගත්තාය. 

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් වයස්ගතම ක්‍රීඩකයා වන්නේ 1974 දී එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගත් කෙන් රොස්වෙල්ය. ඒ වන විට ඔහු 37 වැනි වියේ පසුවිය. යම් හෙයකින් තවත් එක ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් හෝ දිනාගැනීමට සෙරීනා සමත් වුවහොත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ඉතිහාසයේදී ශූරතාවක් දිනාගත් වයස්ගතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වීමේ වාර්තාව සෙරීනා සතුවනු ඇත. 

“ඉස්සර නම් වයස 29, 30 වෙනකොට ක්‍රීඩකයන් පිටියෙන් සමුගන්නවා. වයස 29, 30 නැත්නම් 32 තමා උපරිමය. ඒත් දැන් තත්ත්වය වෙනස්”“තාක්‍ෂණය එහි විශාල කොටසක් බාරගෙන තිබෙනවා. අපි ක්‍රීඩාව බාරගන්නා ආකාරය, අපි තරගාවලියකට පසුව නැවතත් ගොඩනැඟෙන ආකාරය, අපේ සපත්තු නිෂ්පාදනය කර තිබෙන ආකාරය වගේම අපේ ක්‍රීඩා ආම්පන්න නිෂ්පාදනය කරලා තියෙන ආකාරයත් මේ දීර්ඝ තරග දිවියට විශාල සහයෝගයක් වෙනවා” යයි විම්බල්ඩන් තරගාවලියේදී සෙරීනා කීවාය. 

සෙරීනා වයස 30 ඉක්මවූ පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 10 ක් දිනාගත් අතර තවත් 6 වතාවක් අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගත්තාය. මාගරට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් 24 වාර්තාව සමකළත් නැතත්, ඇය ටෙනිස් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බව බහුතර පිළිගැනීමයි. එසේ පිළිගන්නන් අතර එක්සත් ජනපදයේ හිටපු අද්වීතීය ටෙනිස් ශූරයකු වන ජෝන් මැකෙන්රෝද සිටී. 

සෙරීනා විසින් දිනාගන්නා ලද ඔස්ට්‍රේලියානු විවෘත ශූරතා සංඛ්‍යාව 7 කි. විම්බල්ඩන් ශූරතා ගණන 7 කි. ප්‍රංශ විවෘත ශූරතා 3 ක් සහ එක්සත් ජනපද විවෘත ශූරතා 6 ක් ද ඇගේ නමට ඉදිරියෙන් සටහන්වී තිබේ. 

- 213

 
විම්බල්ඩන් තරගාවලියේදී සෙරීනා කලව පිටුපස මස්පිඬුවේ ආබාධයට ලක්වූ අවස්ථාව
ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි

අදහස් (0)

එක්සත් ජනපද තරගාවලියෙන් සෙරීනා ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.