Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ ක්‍රීඩා සමාජ 150 කින් නිලවරණයට පිළිගන්නේ 12 යි

එල්ලේ ක්‍රීඩා සමාජ 150 කින් නිලවරණයට පිළිගන්නේ 12 යි

editorial - 2023 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 30 වැනිදා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ (ඩන්කන් වයිට්) ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය (2023-25) ක්‍රීඩා සමාජ 12 කට සීමාවී තිබේ.

ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක දී ඡන්ද හිමි නාමලේඛනයක් මෙතරම් අඩුවූ අවස්ථාවක් මීට පෙර වාර්තාවී නැත. එදින පෙරවරු 10ට කැඳවෙන එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී මහ සභාව ක්‍රීඩා සමාජ 12 දෙනකුට සීමාවීමේදී ඡන්ද බලය ප්‍රදානය කර ඇත්තේ ගණේමුල්ල වාසනා, ගණේමුල්ල ශක්ති, සීදුව සමරැස්, උදම්මිට ගාමිණී, උදම්මිට මිත්‍ර ගාමිණී, පෑලියගොඩ රංගිකා, සහනගම ගැමුණු, කැලණිය කැලණිතිස්ස, යක්කඩුව වීරගාමිණී, මාටාගොඩ ආනන්ද,  කොටහේන නවරැල්ල හා රණකේසර යන ක්‍රීඩා සමාජවල පමණි.

එල්ලේ නිලවරණය කැඳවීමේ මූලික සැලසුම් හා නිලවරණ කමිටුව සඳහා නිර්දේශ කිරීම සඳහා වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණයෙන් කැඳවූ විශේෂ මහ සභා රැස්වීමට පැමිණ සිටියේ ක්‍රීඩා සමාජ 18 ක් පමණක් බවත් මීට පෙර වාර්තා විය.

කෙසේ වුවත් එල්ලේ සම්මේලනයේ නිලවරණය මීට පෙර පැවැත්වූ සෑම අවස්ථාවකදීම ඡන්ද හිමි නාමලේඛනය ක්‍රීඩා සමාජ 100ක් ඉක්මවා ගියේය. විශේෂ මහ සභා රැස්වීමට වාර්තා කළ ක්‍රීඩා සමාජ ගණන 18 කට අවම වූයේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය කළ කැඳවීමට ක්‍රීඩා සමාජ ඇල්මැරුණු ප්‍රතිචාරය නිසා බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙහිදී විශේෂත්වය වන්නේ තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ ක්‍රීඩා සමාජවල නියෝජිතයන් පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නන් බවටත් පත්ව සිටීමය.

ඒ අනුව උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජයේ නාමල් සුරංග මල්ලවආරච්චිගේ මහතා පමණක් සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහුගේ පත්වීම නිතරගයෙන් සිදුවනු ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධුරයට ගැමුණු ක්‍රීඩා සමාජයේ විපුලසිරි සිල්වා මහතාගේ පත්වීමත් නිතරගයෙන් සිදුවනු ඇත්තේ ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේද ඔහු පමණක් වීමෙනි.

සීදුව සඳරැස් ක්‍රීඩා සමාජයේ ලාවුස් දසනායක, කොටහේන නවරැල්ල ක්‍රීඩා සමාජයේ ලසන්ත පෙරේරා හා යක්කඩුව වීරගාමිණි ක්‍රීඩා සමාජයේ රුවන් ප්‍රදීප් සුරංග යන මහත්වරු උපසභාපති ධුර තුනක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එහෙත් ඔවුන්ගෙන් දෙදෙනකුට පමණක් තනතුරුවලට පත්වීමේ අවස්ථාව හිමිව තිබෙන්නේ එක් උපසභාපති ධුරයක් ශ්‍රී ලංකා පාසල් එල්ලේ සංගමයට නිතරගයෙන් ප්‍රදානය වන බැවිනි.

මේ අතර ප්‍රධාන ලේකම් ධුරයට නන්ද කුමාර ගුණවර්ධන මහතා උදම්මිට ‘මිත්‍ර ගාමිණී’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නාමයෝජනා භාරදී තිබේ. එම පත්වීමත් මැයි 30 වැනිදා නිලවරණයේදී නිතරගයෙන් පත්වනු ඇත.

තරග සංවිධායක ධුරයට චාමර දුෂ්මන්ත මහතා ‘කැලණිතිස්ස’ ක්‍රීඩා සමාජයෙන් නාමයෝජනා භාර දෙමින් නිතරගයෙන් පත්වීමේ අවස්ථාව හිමිකරගෙන ඇත. එහෙත් භාණ්ඩාගාරික ධුරයට කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත්ව නැත. සහකාර ලේකම් ධුරයට ප්‍රින්ස්ලාල් පෙරේරා (මාටාගොඩ ආනන්ද), චමින්ද ජගත් කුමාර (රංගිකා) හා රුවන් ප්‍රදීප් සුරංග (යක්කඩුව වීර ගාමිණී) නාමයෝජනා තුනක් ඉදිරිපත්ව තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා එල්ලේ නිලවරණය කැඳවෙන මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය දරයි. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්. ඒ. ටී. ජයසිංහ, විශ්‍රාමලත් සබරගමුව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත ජයතිලක යන මහත්වරු නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

එල්ලේ සම්මේලනයේ මෙවර නිලවරණය ක්‍රීඩා සමාජ 12කට සීමා වුවත් අතරමග අත්හිටුවා තිබෙන 2021 ජාතික එල්ලේ තරගමාලාවට ක්‍රීඩා සමාජ 128කට වැඩි ගණනක් සහභාගිවී තිබේ.

ක්‍රීඩා සමාජයකට නිලවරණයේදී එක් ඡන්දයක් බැගින් පමණක් හිමිවුවත් මහ සභා රැස්වීමේ අසුන් ගැනීම සඳහා එක් ක්‍රීඩා සමාජයකින් නියෝජිතයන් තිදෙනකු බැගින් කැඳවීම් ලබා තිබේ. මෙය මහ සභා රැස්වීමේ අවම ගණපූරණයක් සම්පූර්ණකර ගැනීම සඳහා යෙදූ උපක්‍රමයක් යයි ක්‍රීඩා සමාජ පවසති.

 


අදහස් (0)

එල්ලේ ක්‍රීඩා සමාජ 150 කින් නිලවරණයට පිළිගන්නේ 12 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.