Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කයිල් - ගංගා පංගු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් උළෙලට

කයිල් - ගංගා පංගු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් උළෙලට

editorial - 2024 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැරිස් ඔලිම්පික්  උළෙල (2024) සදහා ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ක්‍රීඩාවෙන් ක්‍රීඩක කයිල් අබේසිංහ හා ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න නිර්දේශ  කර තිබේ. ඒ පංගු ක්‍රමය හෙවත් සුදුසුකම් නොලත් (වයිල්ඩ් කාඩ්) ලේඛනයෙනි.

ඒ අනුව පැරිස්  ඔලිම්පික් උළෙලේදී කයිල් අබේසිංහ මීටර් 100 -නිදහස් ආර (පිරිමි) ඉසව්වෙන්ද  හා ගංගා සෙනවිරත්න මීටර් 100 - පසුපස ආර (කාන්තා) ඉසව්වෙන්ද තරග වදිනු ඇත.

පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙල රැසකදීම පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී  ලංකාවට සුදුසුකම් නොළත් පංගු ක්‍රමය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි  කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව පසුගිය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා එහිදී  නිර්දේශ වූයේ මැතිව් අබේසිංහ හා අනීකා ගෆූර්ය. මැතිව් අබේසිංහ මෙවර පැරිස් ඔලිම්පික් අවස්ථාව හිමි කර ගත් කයිල් අබේසිංහගේ වැඩිමහල් සහෝදරයායි.

පැරිස් ඔලිම්පික් උළෙලේදීත් මෙම ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවගේ කළමනාකරු  ලෙස කයිල් හා මැතිව්ගේ පියා වන ප්‍රකට පිහිනුම් උපදේශක මනෝජ් අබේසිංහ මහතා කටයුතු කරයි.

පංගු ක්‍රමය ඔස්සේ පැරිස් ඔලිම්පික් තරග නිර්දේශ ලබා ගැනීමේ නිර්ණායකය වන්නේ එසේ නම් කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසන්නයේම  යෙදෙන ලෝක ජල ක්‍රීඩා තරගාවලියට සහභාගිවී තිබීම        අනිවාර්යවීමයි.  

එහිදී 2024 ලෝක ජල ක්‍රීඩා  තරගාවලිය රටවල් 199 කගේ සහභාගිත්වයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ඩෝහා - කටාර්හිදී පැවැති අවස්ථාවේදී  මෙම  ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ඇතුළුව හය දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගිවී තිබේ.

මේ අතර පැරිස්  ඔලිම්පික් අවස්ථාව තමන්ට ලැබිය යුතු බවට ශ්‍රී  ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් මීට පෙර විරෝධතාවක් ගොනු කර තිබූ බවද වාර්තාවේ. එහෙත් අකලංක තරග වදින පිහිනුම් ඉසව්ව ඔලිම්පික් ක්‍රීඩා ඉසව් ගණයට ඇතුළත්  නොවන බැවින් ඔහු පැරිස් ඔලිම්පික් සංචාරයට ඇතුළත් කර නැත.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා  සංගමයේ ප්‍රකාශකයෙකු ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ අන්තර්ජාතික ජල ක්‍රීඩා  සංගමයේ නියමයට අනුව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වන පිහිනුම් ඉසව් වෙතින් පමණක් ඒ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගත යුතු බවයි.


අදහස් (0)

කයිල් - ගංගා පංගු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් උළෙලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.