Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කළමණාකරුවන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්

කළමණාකරුවන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්

නාමල් පතිරගේ - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා නේපාලයේ කත්මන්ඩු නුවරට ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු ගැටලුවට ක්‍රීඩා අමාත්‍යංශයේ දැඩි අවධානයට යොමුව තිබේ. ඒ අනුව මින් ඉදිරියට ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා කළමනාකරුවන් පත්කිරීමේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ සඳහා යෙදවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ සඳහා පත් කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවන අවස්ථාවන්හිදී සහය කළමනාකරුවෙකු එම දෙපාර්තමේන්තුවෙන් පත්කිරීම සිදු කෙරෙන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා එහි පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයට ළඟාවීමේදී පැන නැගුණු ගැටලුව ඊට ආසන්නම සිදුවීම වී තිබේ.

එහිදී ඔවුන් පැමිණි බස් රථ කත්මණ්ඩු නුවර නවාතැන් ගත් හෝටලය අසලදී ගාල් කිරීමට නොහැකිවීමෙන් (මාර්ගය පටුවීමෙන්) ගමන් මලු හා සෙසු ක්‍රීඩා ආම්පන්න මීටර් ගණනාවක් දුර පයින් ඔසවාගෙන යාමට සිදු වූ බවත් එහිදී නියමිත හෝටලය ලැබෙන තුරු ඔවුන්ට මහමග පැය ගණනක් රැඳී සිටීමට සිදුවූ බවත් චෝදනා එල්ල වේ.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඊට තමන්ගේ වගකීමක් නැති බවත් කත්මන්ඩු නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නවාතැන් කටයුතු සම්බන්ධීකරණය කළේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් බවත්ය. ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් කළමනාකරුගේද වගකීමක් වූ බව  අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ලවී තිබෙන චෝදනා, සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවලදී කණ්ඩායම් කළමනාකරුවන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් පත් කිරීමට තීරණය වූ බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවාතැන්, ප්‍රවාහන හා ආහාරපාන පහසුකම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 73 ක් වැය කළ බව ඔහු පවසයි.

මේ අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් නිල කබා 800 ක් සූදානම් කර තිබුණත් එය නොලැබුණු බව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙතින් ලැබී තිබෙන පැමිණිලි විභාග කිරීමටද ක්‍රීඩා අමාත්‍යාංශය  සැරසේ.

එහිදී ක්‍රීඩා උළෙලේ පැළඳීම සඳහා නිල කබාය ලබාදී තිබියදී එය කත්මන්ඩු නුවරට රැගෙන නොගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳවද තවත් පැමිණිලි ලැබී තිබෙන බැවින් ඒ ගැනද විමර්ශනයක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

 


අදහස් (0)

කළමණාකරුවන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.