Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාත්‍යන්තර සීමා එලෙසින්ම

ජාත්‍යන්තර සීමා එලෙසින්ම

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයෙන් (2023–24) ක්‍රීඩා සමාජ හා සංගම් 17ක් ඉවත් කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා සභාපතිත්වය දරන නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ. එදින පැවැත්වෙන නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය කර තිබෙන ක්‍රීඩා සමාජ හා සංගම් ගණන 42 කි.

මෙවර පාපැදි නිලවරණය සඳහා එකම පාර්ශ්වයකින් පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එහිදී හිටපු සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මෙවරත් සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහුගේ පත්වීම නිතරගයෙන් සිදුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ප්‍රධාන ලේකම් ධුරයට ගෲප් කපිතාන් රංග පෙරේරා මහතා නාමයෝජනා බාරදී තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසුව එතෙක් පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දරමින් සිටි වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එයින් ඉවත් විය. එහිදී වැඩබලන සභාපතිවරයා ලෙස පෙනී සිටියේ රංග පෙරේරා මහතායි.

මෙවර නිලවරණයෙන් ඉවත් කර සිටින පාපැදි ක්‍රීඩා සමාජ හා සංගම් එකම පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කරන්නේ මැයි 31 වැනිදා පැවැත්වෙන නිලවරණය තමන් වර්ජනය කිරීමට කලින්ම තීන්දු කර තිබූ බවයි.

අන්තර්ජාතික පාපැදි සම්මේලනය පිළිගන්නා පාපැදි නිලවරණයක් මෙරට පැවැත්වෙන තුරු තමන් ඉදිරියටත් ඒ සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කළ බව එම පාර්ශ්වය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ එක් පාර්ශ්වයක සභාපති ධුරය දරණ සුමිත් බාලසූරිය මහතා පවසයි. ඔහු මෙසේද පැවසීය.

“පාපැදි සම්මේලනයේ පසුගිය වසරක පාලන කාලය තුළදී සම්මේලනයේ ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනත උල්ලංඝනය වන සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. කවුන්සිල් රැස්වීම් එකක්වත් පැවැත්වූයේ නෑ. සභාපතිවරයා ඉවත් වුණාම ඒ තැනට සුදුස්සකු විශේෂ මහ සභා රැස්වීමක් කැඳවලා පත් කරන්න විධායක සභාව උනන්දු වුණේ නෑ. උප සභාපතිවරයකු ඒ වෙනුවට සභාපතිවරයා ලෙස පෙනී සිටින්න උත්සාහ ගත්තා.

නමුත් මේ කිසිම කාරණාවක් ගැන අපි උනන්දු වෙන්නෙ නෑ. අපිට තිබෙන ලොකුම ගැටලුව තමයි අන්තර්ජාතික සම්මේලනය පිළිනොගන්නා මෙරට පාපැදි පරිපාලනයකින් තවදුරටත් ක්‍රීඩාවට සේවයක් ලබාගන්න බෑ. ඒ නිසා ඒ ගැටලුව ලිහාගෙන නිලවරණය කැඳවිය යුතු බවට අප යෝජනා කරනවා.”

ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් පැවැති පසුගිය (2022-23) පාපැදි සම්මේලනයේ නිලවරණයට දේශපාලන අතපෙවීම් සිදුවූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට සීමා පැනවීමට අන්තර්ජාතික පාපැදි සම්මේලනය ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක වේ.

එම සීමා පැනවීම් අනුව අන්තර්ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් ලබාදී තිබුණේ ජාත්‍යන්තර තරග සහභාගීත්වය සිදු කළ යුත්තේ 2022-23 නිලවරණයට පෙර කටයුතු කළ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විධායක සභාවේ සම්බන්ධීකරණයෙන් බවයි. මෙම තත්ත්වය හමුවේ වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පාපැදි තරග සහභාගීත්වය මෙන්ම මෙරටට එයින් ලබාදෙන පුහුණු පාඨමාලා හා වැඩමුළු සහභාගීත්වය ද ඇණහිට තිබේ.

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය නිල වශයෙන් 2022-23 පාපැදි නිලවරණයෙන් පත්වූ විධායක සභාව පිළිගෙන තිබේ. පාපැදි සම්මේලනයට අයත් හිටපු විධායක සභාව රඳවාගෙන තිබෙන බව පැවසෙන භාණ්ඩ හා ලිපිගොනු තොගයක් ඉල්ලා අධිකරණයේ නඩුවක් පැවරීමටද වත්මන් විධායක සභාව (2022-23) කටයුතු කර තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය මේ වනවිට පාර්ශව දෙකක් ලෙස කටයුතු කරන අතර නලින් අධිකාරිආරච්චි මහතා සභාපතිත්වය දරන පාර්ශ්වයට එහිදී මෙවර නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය කර තිබේ.


අදහස් (0)

ජාත්‍යන්තර සීමා එලෙසින්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.