Last Update  :  2025-02-19 11:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කඩු හරඹ ශූරතාවලිය හෙට - අනිද්දා

ජාතික කඩු හරඹ ශූරතාවලිය හෙට - අනිද්දා

editorial - 2022 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන 10 වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය හෙට (10 වැනිදා) සහ අනිද්දා (11 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 සහ 2021 යන වසරවලදී මෙම තරගාවලිය නොපැවැත්වුණ බැවින් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර 2 කට පසුවය. 

මෙම ශූරතාවලියේදී සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබි්‍ර) යන කාණ්ඩ 3 යටතේ පිරිමි සහ කාන්තා අංශ දෙක සඳහාම කේවල සහ කණ්ඩායම් තරග පැවැත්වේ. දකුණ, පානදුර, කොළඹ, උතුරු මැද, ගම්පහ, කෑගල්ල, පන්නල, රියෝ, මහනුවර, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය යන ක්‍රීඩා සමාජ මෙවර තරගාවලියේදී තරග වදිනු ඇත. 

එම කඩු හරඹ සමාජ 13 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 150  කට වැඩි පිරිසක් මෙවර ශූරතාවලියට එක්ව සිටින අතර ඔවුන් සියලු දෙනා මින් පෙර පැවැති ජාතික කනිෂ්ඨ කඩු හරඹ ශූරතාවලීන්හිදී සහ ආධුනික කඩු හරඹ ශූරතාවලීන්හිදී ජයග්‍රහණ ලබා ජාතික කඩු හරඹ ශූරතාවලියට සුදුසුකම් ලැබූවෝ වෙති. 

කේවල අංශයේ මූලික වටයේ තරගවලදී එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී සහ සබි්‍ර) ඉහළම දස්කම් දක්වන කඩු හරඹ ක්‍රීඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරෙන අතර එතැන් සිට අවසන් මහ තරගය දක්වා තරග පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුවය. 

තරගාවලියේ සමස්ත ශූරතාව සහ අනු ශූරතාවට අමතරව දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහාද කුසලාන පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 11 වැනිදා පස්වරු 6.00 ට ආරම්භ වන අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. 


අදහස් (0)

ජාතික කඩු හරඹ ශූරතාවලිය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.