Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු අප්‍රිකානු කාන්තා පිලට ලකුණු 7 ක ජයක්

දකුණු අප්‍රිකානු කාන්තා පිලට ලකුණු 7 ක ජයක්

Nisanka Sandeepani - 2019 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ප්‍රොචෙෆ්ස්ට්‍රෝම්හිදී පැවැති පළමු එක්දින තරගය ලකුණු 7 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය. අයි.සී.සී. කාන්තා ශූරතාව සඳහා පැවැත්වෙන මෙම තරගාවලියේදී තරග 3 කට කණ්ඩායම දෙකම සහභාගීවිය යුතු අතර පළමු තරගය ජයගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 2 ක් හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 48 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 225 ක් පමණි. මෙම තරගය දෙපිලටම ඕවර 48 කට සීමාවිය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් සිය මංගල එක්දින ශතකය ලබාගත් ඬේන් වැන් නිකර්ක් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවාය. පන්දු 117 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට ඬේන් වැන් නිකර්ක් සමත්වූවාය.

නායිකාවට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකාරිණී ඇන්ඩි්‍ර ස්ටේන් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 147 කදී ලකුණු 117 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූවාය.
ලකුණු 29 ක් තුළ පළමු කඩුලු 2 දවාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට උදේශිකා ප්‍රබෝධනී සමත්වුවද තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අපොහොසත් වූහ.

ඕෂධී රණසිංහ කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අචිනි කුලසූරිය සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 48 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 218 ක් පමණි.

සාර්ථක ආරම්භයක් ලබාගැනීමට අනුෂ්කා සංජීවනී සහ ප්‍රසාදනී වීරක්කොඩි සමත්වූ අතර ඔවුන් පළමු කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

පන්දු 67 කට මුහුණදුන් ප්‍රසාදනී වීරක්කොඩි හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීමට සමත්වුවාය.

නමුත් ලකුණු පුවරුව 126 ක් වනවිට කඩුලු 5 ක් දැවී සිටි ශ්‍රී ලංකා පිලට අලුත් බලාපොරොත්තුවක් ඇති කිරීමට ශෂිකලා සිරිවර්ධන සහ නිලක්ෂි ද සිල්වා සමත්වූ අතර පන්දු 55 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔවුන් සමත්වූහ.

පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 49 ක් රැස්කර සිටි ශෂිකලා සිරිවර්ධන කඩුලු රකින්නියට උඩපන්දුවක් දෙමින් දැවී ගියාය.

පසුපෙළ පිතිකාරියන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වැලකී ගියේය. නියමිත ඕවර සංඛ්‍යාව අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි නිලක්ෂි ද සිල්වා පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 39 ක් රැස්කිරීමට සමත්වුවාය.

මසබාටා ක්ලාස් කඩුලු 3 ක්ද ඬේන් වැන් නිකර්ක් සහ ටුමී සෙකුකුන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 48 කදී කඩුලු 7 ක් දැවී 225
(ඇන්ඩි්‍ර ස්ටේන් 75, ඬේන් වැන් නිකර්ක් 102, ඕෂධී රණසිංහ 40/3, උදේශිකා ප්‍රබෝධනී 39/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 218
(ප්‍රසාදන් වීරක්කොඩි 47, ශෂිකලා සිරිවර්ධන 49, නිලක්ෂි ද සිල්වා නොදැවී 39, මසබාටා ක්ලාස් 46/3, ඬේන් වැන් නිකර්ක් 26/2, ටුමී සෙකුකුන් 33/2)

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු කාන්තා පිලට ලකුණු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.